ශ්‍රී ලංකාව දේශීය වශයෙන් අරඹා ඇති ප්රතිසංධාන ක්‍රියාවලියට සහාය පළ කරමින් ඇමරිකාවේ සෙනේට් සභිකයෝ 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව කෙරෙහි සමබර සහ විස්තීර්ණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ජනාධිපති බැරැක් ඔබාමා ඉල්ලීමක්ද කරමින්, ඩිමොක්රැටික් හා රිපබ්ලිකන් යන ප්‍රධාන පක්ෂ දෙකෙහි සෙනේට් සභිකයන් 11 දෙනෙකු විසින් පසුගිය 27 දා මෙම යෝජනාව (S. RES. 364) ඉදිරිපත් කර ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්රතිසංධාන ක්‍රියාවලිය සහ යුද්ධය අවසන් වී වසර 5ක පමණ කාලය තුළ අත්කර ගෙන ඇති සැලකිය යුතු සමස්ත ප්‍රගතිය ගැන මෙහිදී සහාය පළ කර ඇත.
මානව හිමිකම්වලට ගරුකිරිම, ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය, ඇතුළු ඇමෙරිකාව උනන්දුවක් දක්වන කරුණු ප්‍රවර්ධනය කෙරෙහි මෙන්ම ඇමරිකාවේ ආර්ථික සහ ආරක්ෂක අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි සමබර සහ විස්තීර්ණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඔවුහු ජනාධිපති බැරැක් ඹබාමා ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව තානාපති කාර්යාලය පවසයි.
වසර 26 ක් පුරා පැවති යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට මහත් දුක්පීඩා විඳීමට සිදුවූ බවත්, එවැනි තත්ත්වයක් යළි ඇවිලවීමට බාහිර බලවේග උත්සාහ දැරිම වළක්වමින් පුළුල් ජාතික සමගියක් සහ ප්රතිසංධානයක් මගින් අනාගතයට පියනැගීමට ශ්‍රි ලංකා රජය තුළ නිර්ව්‍යාජ අභිලාෂයක් පවතින බවත් මෙම යෝජනාවෙන් පෙන්වා දී තිබේ. උගත් පාඩම් සහ ප්රතිසංධාන කොමිසම පිහිටුවීම සහ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විශේෂයෙන් වැදගත් කොට සලකන බවද එහි දක්වා තිබේ.
සීමිත කාලයක් තුළ උගත් පාඩම් සහ ප්රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ විශාල ප්‍රගතියක් ශ්‍රී ලංකා රජය පෙන්නුම් කර ඇති බවත්, එම යෝජනාවෙන් පෙන්වාදී ඇති තවත් කරුණකි. ප්‍රථම වරට උතුරු පළාත් සභා ඡන්ද විමසුම පවත්වා ගැටුම් පැවති උතුරෙහි මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරිම එහි විශේෂයෙන් සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය, ආගමික නිදහසට ඇතිවිය හැකි සීමාවන් සඳහන් කරන එම යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාව විසින්ම මෙහෙයවන ක්‍රියාවලියකින් සියලු ජනවර්ගවල අවශ්‍යතා ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමක් මගින් සාමකාමි හා සාධාරණ සමාජ ප්රතිසංධානයක් ඇතිකර ගැනීම වැදගත් බව පෙන්වා දී ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
රටේ සෛවරීත්වය, ස්ථායීබව සහ ආරක්ෂාව කෙරෙහි ගරුකරමින් ශ්‍රී ලංකා රජය අරඹා ඇති ප්රතිසංධාන ක්‍රියාවලිය සඵල කර ගැනීමට ඵලදායි ලෙස සහාය දක්වන ලෙස මෙම යෝජනාවෙන් එම සෙනේට් සභිකයෝ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ අන්තර් ජාතික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම යුද්ධයේ තුවාල සුවපත් කිරීමට දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවිමේ සහ ප්රතිසංධාන කොමිසම වැනි යාන්ත්‍රණයක් කෙරෙහි සැලකිල්ල යොමු කිරීමටද එමගින් ශ්‍රි ලංකාවට දිරිගැන්වීමක් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
මෙම යෝජනාවේ මුල් සම අනුග්රාහකයන් වන්නේ මෙහි සඳහන් සෙනේට් සභිකයන්ය
ජේම්ස් ඉන්හොෆ් (රිපබ්ලිකන්- ඔක්ලහෝමා)
ජෝන් කෝන්යන් (රිපබ්ලිකන්- ටෙක්සාස්)
ඔරින් හැච් (රිපබ්ලිකන්- උටාහ්)
ජෝන් බරාස්සෝ (රිපබ්ලිකන්- වොයෝමින්ග්)
රෝයි බ්ලන්ට් (රිපබ්ලිකන්- මිසුරි)
ජෝ මැන්චින් (ඩිමොක්රැටික්- වෙස්ට් වර්ජිනියා)
ජෙෆ් සෙෂන්ස් (රිපබ්ලිකන්- ඇලබාමා)
ජෝන් බූස්මන් (රිපබ්ලිකන්- ආකන්සාස්)
මයික් ක්රැපෝ (රිපබ්ලිකන්- ඉඩාහෝ)
සූසන් කොලින්ස් (රිපබ්ලිකන්- මෙයිනෙ)
මයික් එන්සි (රිපබ්ලිකන්- වොයෝමින්ග්)