මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් කිරීමට බලතල පැවරී තිබේද යන්න ඊයේ (18දා) ජිනීවා නුවර පැවති මානව හිමිකම් මණ්ඩලයේ නිල නොවන දෙවැනි වටයේ සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එම නිල නොවන දෙවැනි වටයේ සාකච්ජාවේදී අන්තර් ජාතික යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා වී තිබේ.
එහිදී, ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව ශ්‍රී ලංකාවට පක්ෂව මෙන්ම විපක්ෂව කතාකළ රටවලද පැසසුමට ලක්ව ඇති බව බී.බී.සී.ය කියයි.
කියුබාව, චීනය, පාකිස්තානය යන රටවල් පවා තමන් ඉදිරිපත් කළ අදහස් දෙවැනි කෙටුම්පතට ඇතුළත් කොට තිබීම ගැන ප්‍රසාදය පළ කර ඇති බව බී.බී.සී.ය පෙන්වා දෙයි.
ඒ අනුව, යෝජනා කොට ඇති පරිදි, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් කිරීමට බලතල පැවරී තිබේද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමේදී, පාකිස්තානය සහ ඊජිප්තුව වැනි රටවල් ප්‍රකාශ කර තිබුනේ, එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට එවැනි බලතල නොමැති බවය.
නමුත්, ඇමෙරිකානු නියෝජිතයා විසින් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1994 සම්මත කරගන්නා ලද යෝජනා වල සිට මෙවැනි පරීක්ෂණ කළ අවස්ථා අටක් ඇති බවය.
සමහර අවස්ථාවලදී අදාළ රටවල් විසින් කරන ලද ඉල්ලීම් අනුවද, තවත් අවස්ථාවන්හි මහ ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම් අනුවද සමහර අවස්තාවලදී මානව හිමිකම් කවුන්සලය විසින් කරන ලද ඉල්ලීම් අනුවද එවැනි පරීක්ෂණ සිදු කොට ඇති බව ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරිය කරුණු පැහැදිලි කළ බව බී.බී.සී.ය පවසයි.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කොට තිබුණේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරියට නීතිමය බලයක් හෝ මුදල් ප්‍රතිපාදන හෝ නොමැති බව යැයිද බී.බී.සී.ය පෙන්වා දෙයි. එමෙන්ම, අරමුදල් පිළිබඳ ප්රශ්නය මියන්මාරය විසින්ද මතුකර තිබේ.
ඉදිරිපත්ව ඇති යෝජනාවේ ස්වරූපය අනුව එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට ඒ සඳහා අරමුදල් සොයා ගත හැකි බවත්, සම්පත් ඇති බවත්, මීට පෙරද එවැනි විමර්ශන සඳහා සම්පත් යොදා ගෙන ඇති බවත් මෙහිදී ඇමෙරිකානු නියෝජිතවරිය නැවත වරක් පෙන්වා දී ඇති බවද බී.බී.සී.ය කියයි.
යෝජිත සංශෝධිත යෝජනාව මගින් පරීක්ෂණයක් පැවැත්වෙන කාල වකවානු පිළිබඳව සඳහන් කොට නැති බැවින්, ඒ පිළිබඳව බොහෝ රටවල් විමසා සිටියදී, කොමිසමකට නිදහසේ වැඩ කිරීමට ඉඩ ලබාදීම සඳහා කාල වකවානු නියම කොට නැති බව මූලාසනයෙන් ඊට ලැබුණ පිළිතුර වූ බවද බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.