ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දෙබඩි ස්ථාවරයක් නැති බවත් , එක්සත් ජාතීන් ගේ සංවිධානය තම සෑම සාමාජිකයෙකු වෙනුවෙන්ම පොදු ප්රතිපත්තියක සිට කටයුතු කිරීම බැඳී සිටින බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් ඊයේ (02දා) කොළඹදී පැවසීය.
දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකාවේ පැවති ගැටලු විසඳීම වත්මන් රජය හැකි උපරිමයෙන් කටයුතු කරන ආකාරය තමන් අගය කරන බවද, රටේ වගවීම හා සංහිඳියාව වර්ධනය කරගැනීමේ රජයේ කටයුත්තට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද බැන් කී මූන් පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ සිය තෙදින නිල සංචාරය අවසන් කරමින් ඊයේ (02දා) කොළඹ ගාලූමුවදොර හෝටලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
කෙසේ වෙතත්, ඊයේ පස්වරු 6.30 ට පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දැන්වූවත් රාත්‍රී 7.00 වනවිටත් එම සාකච්ඡාව ඇරඹුනේ නැති බවත්, වෙලාවට වැඩ කිරීම ගැන ලොවටම ආදරශයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙලාවට වැඩ නොකරන බව ශ්‍රී ලංකාවේ දී පෙන්වා ඇතැයිද එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීහු පැවසූහ.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ