කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය මහා පරිමාණ ප්‍රමාණයන්ගෙන් අත්අඩංගුවට පත්වීම තුළ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති නිසා එම ප්‍රතිඅපනයන ක්‍රියාවලිය නැවැත්වීම සඳහා කටයුතු කිරීමට ආරක්ෂක බුද්ධි අංශ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පසුගිය 21 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් කොකෙන් කිලෝග්‍රෑම් 274 පිළිබඳව සිදුකළ පුළුල් පරීක්ෂණයේදී මේ පිළිබඳව යළිත් වතාවක් තහවුරු වී ඇති අතර, එම කොකේන් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවට හෝ ඔස්ට්‍රේලියාවට යැවීමට සූදානම් කර තිබූ ඒවා බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැක පළ කරයි.
කොළඹ පැලියගොඩ නුගේ පාරේ පෞද්ගලික කන්ටේනර් අංගණයක තිබූ සීනි ගෙන්වූ කන්ටේනරයක් තුළ මෙම කොකෙන් තොගය සඟවා තිබියදී සොයා ගැණිනි. මේ අතර පසුගිය මාසයේදීත් සීනි අතර සඟවා රැගෙන ආ කොකෙන් කිලෝග්‍රෑම් 92 ක ප්‍රමාණයක් බ්‍රසීලයේ සිට සීනි කන්ටේනරයක සඟවා ගෙන්වූ අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශවලට හැකි විය.
සීනි සහ වෙනත් ද්‍රව්‍ය අතරේ සඟවා ගෙන්වන කොකේන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය, කසළ තේ අතර සඟවා හෝ ටින් කිරීමෙන් වෙනත් ද්‍රව්‍ය අතර සඟවා ප්‍රතිඅපනයනය කරන බවට ආරක්ෂක අංශවලට සැකයක් මතු වී තිබේ.
මෙරටින් භාණ්ඩ අපනයනය කිරීමේදී නිසි රේගු පරීක්ෂාවක් සිදු නොකරන බවට වාර්තා වන අතර එයට හේතුවී තිබෙන්නේ අපනයනය කිරීමේ කටයුතු සඳහා ඇතැම් භාණ්ඩ වරායට රැගෙන එන්නේ නැව් වරායට පැමිණීමට ආසන්න මොහොතේ වීම නිසා බවද වාර්තා වෙයි.
අපනයනය කිරීමට රැගෙන එන භාණ්ඩ ඉතාමත් ඉක්මනින් නැව්ගත කළයුතු නිසා රේගු පරීක්ෂාවක් සිදුකළහොත් ප්‍රමාද සිදුවීම සිදුවන නිසා බොහෝ භාණ්ඩ රේගු පරීක්ෂාවට ලක් නොකරන බවද රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් %අද^ ට සඳහන් කළේය.
කසළ තේ වැනි ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළින් අපනයනය කරන වරායවල් අතර තුර්කි රටේ වරාය නමක් උසුලන අතර මෙම වරාය හරහා කැනඩාව ඇතුළු යුරෝපීය රටවලට භාණ්ඩ අපනයනය කිරීම් සිදුකරන පහසුම ක්‍රමය බවටද පත්ව තිබේ.
ශ්‍රී ලංකාව තුළින් අපනයනය කරන භාණ්ඩ නිසි පරීක්ෂාවකට ලක්නොකරන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ භාණ්ඩ අතරේ සඟවා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් මෙරටින් අපනයනය කරන භාණ්ඩ අතරේ අදාළ මත්ද්‍රව්‍ය සඟවා ජාත්‍යන්තරයට මුදාහරිමින් තිබෙන බවත්, ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙන බවද වාර්තා වේ.මේ නිසා ඉදිරියේදී භාණ්ඩ ප්‍රතිඅපනයන ක්‍රියාවලියේ දී ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම කෙරෙහි ආරක්ෂක බුද්ධි අංශවල අවධානය යොමුව තිබේ.
කොකෙන් වැනි මත්ද්‍රව්‍ය සීනි අතරේ සඟවා තිබූ විට ස්කෑන් පරීක්ෂාවකදීවත් හඳුනාගැනීම ඉතා අපහසු වීම නිසා මත්ද්‍රව්‍ය සීනි අතරේ සඟවා මෙරටට රැගෙන ඒමට ජාවාරම් කරුවෝ කටයුතු කරන බවටද තොරතුරු හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවට සීනි ගෙන්වන රටවල් අතර මේ වනවිට බ්‍රසීලය ප්‍රසිද්ධියක් උසුලන අතර මීට පෙර පසුගිය 21 වැනි දින අත්අඩංගුවට ගත් කොකේන් තොගයත් අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රසීලයේ සිට පැමිණ සීනි තොගයක් අතරේ සඟවා තිබියදීය.
පසුගිය 21 වැනි දින අත්අඩංගුවට ගත් කන්ටේනරය රැගෙන ඒමේදී පෘතුගාලයේදී පැය 02 කට අධික කාලයක් නැව නතර කර තිබෙන බවට ආරක්ෂක අංශවලට තොරතුරු හෙළිවී තිබෙන අතර සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා වාප්පු ලිපිකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වීම වැළැක්වීම හා සීමා කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූළිකත්වයෙන් හා ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි අංශවල ද සහායෙන් විශේෂ මෙහෙයුමක්ද මේවන විට ආරම්භ කර තිබේ.