(UPDATE) වෝෂිංටනයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු තුර්කියේ උපන්, ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලැබූ 20 හැවිරිදි ආර්කන් ස්ර්ටින් ලෙස හඳුනාගෙන ඇත.
වෝෂිංටනයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ සැකකරු සොයා FBI ආයතනය පරීක්ෂණ අරඹා ඇත.
වොෂිංටන් පොලීසිය විසින් සී.සී.ටී.වී. දසුන්වලින් ලබාගත් සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, වයස විසිගණන්වල පසුවූ තරුණයෙකු, ටීෂර්ට් එකකින් හා කොට කලිසමකින් සැරසී වෙළෙඳ සැල තුළට ඇතුළු වන ආකාරය එහි දැකිය හැකිය.
වොෂිංටන් හි, සීට්ල් පළාතේ, බර්ලින්ග්ටන් නගරයේ කැස්කේඩ් වෙළෙඳ සංකීර්ණයේ, මැකීස් නිමි ඇඳුම් වෙළෙඳ සැල තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා කවර පෙළඹවීමකින් මෙය සිදුකළේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවද කියැවෙයි.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් සිවුදෙනෙකු සිටින අතර, එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
සී.සී.ටී.වී. දසුන්වලට අනුව වෙළෙඳ සංකීර්ණය වෙත ගිනි අවියක් නොමැතිව ඇතුළු වන සැකකරු, මැකීස් වෙළෙඳ සැල වෙත ඇතුළු වනවිට ගිනි අවියක් අතදරා ඊට ඇතුළු වන ආකාරය දැකිය හැකි බව පොලීසිය කියයි.