වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමට අදාළව ගල්කිස්ස පොලීසියේ තිබූ තොරතුරු පොත් අතුරුදන් වීම හා විනාශ කිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කොට මාස 05ක කාලයක් ගත වී ඇතත්, මෙතෙක් එම වාර්තාව උසාවියට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කරුණු විමසීම සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර කරවිට මහතාට උසාවිය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ මහාධිකරණය අද (16දා) නියම කළේය.
ලබන මැයි 14 වැනිදා උසාවිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කරවිට මහතාට සිතාසියක්ද නිකුත් කළේය.
ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා අධිකරණ නියෝගවලට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ අද (16දා) අධිකරණයට රැගෙන විත් තිබිණි.
2000/05/27 වැනිදා ගල්කිස්සේදී කුඩු ග්‍රෑම් 6.07ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා කර ඇත.