කුරූණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලබමින් සිටි වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ මරණයට මූලික හේතුව දෙමාපියන් තම දියණිය පිළිබඳව සොයා නොබැලීම බව එම සිසුවියගේ මරණ පරීක්ෂණය සිදුකළ කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.කේ. අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
වෙනූෂා සිසුවිය පසුගිය 05 වැනිදා උදෑසන තම නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියාය.
මියයෑමට පෙර ඇය තම පියාට ලිපියක්ද ලියා තිබූ අතර, එහි සඳහන් වූයේ ඇය විසින් පවත්වාගෙන ගිය අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක (ෆේස්බුක්) විදුහලේ ඡායාරූප සමග විදුහල් නිල ඇඳුමෙන් ගනු ලැබූ ඡායාරූප පළකිරීමෙන් පසුව විදුහල්පතිවරයා පාසලේදී පිරිසක් ඉදිරිපිටදී ඇයට බැණ වැදීමෙන් ඇති වූ සිත් කලකිරීම නිසා මෙසේ සියදිවි හානි කරගැනීමට තීරණය කළ බවයි.
මේ පිළිබඳව කරුණු කීමට පියා පාසලට රැගෙන එන ලෙස විදුහල්පතිවරයා කර තිබූ නියෝගයද තමන් බියට පත් කරවන්නක් වී තිබූ බවද ඇය ලියා තිබු ලිපියෙහි සඳහන් කර තිබිණි.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා පැවසුවේ, මෙම සිසුවියට පාසලේ විනය රැකීමේ අරමුණින් ඇයට දැඩි ලෙස අවවාද කළ බවත්, එය සියදිවි නසාගැනීමට තරම් හේතුවක් නොවන බවත්ය.