වී සහතික මිල නීතිගත නොකිරීමෙන් වී විකුණා ගැනීමට නොහැකි වෙලා
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළ වී කිලෝවක සහතික මිල නීතිගත නොකිරීම නිසා රටේ කිසිදු ගොවියෙකුට වී විකුණා ගැනීමේදී සාධාරණ මුදලකට විකුණා ගැනීමට නොහැකි වී ඇති බවත්, වහාම සහතික මිල නීතිගත කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
වී වලට නියම කර තිබෙනා මිල නීතිගත කරන ලෙස ඉල්ලා ලංකාවේම ගොවි ජනතාව එක්ව මේ මස 09 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ද එම සංවිධානය සඳහන් කරයි.
නාඩු වී කිලෝවකට රුපියල් 45 ක් සහ සම්බා වී කිලෝවකට රුපියල් 50 ක සහතික මිලක් නියම කළත් රජය මගින් එම මුදලට මිලදී ගන්නේ එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 ක් පමණක් බව එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
ඉතිරි සියලුම වී පෞද්ගලික වෙළෙඳුන්ට ලබාදීමට සිදුව තිබෙන බවත්, ඔවුන් විසින් වී මිලදී ගනු ලබන්නේ රුපියල් 25 ත් 30 ත් අතර මුදලකට බවද පවසා සිටියේය. මේ නිසා ආණ්ඩුව වී වලට සහතික මිලක් නියම කළත් එම වාසිය ගොවි ජනතාවට නොලැබෙන බවත්, එහි සම්පූර්ණ වාසිය මෝල් හිමියන් විසින් ලබාගනිමින් තිබෙන බවත් ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
පෞද්ගලික වෙළෙඳුන් වී සහතික මිලට ලබා නොගත්තත්, එම පිරිස් මිලදී ගන්නා වී සහල් බවට පත්කර, ආණ්ඩුව විසින් වී වලට ලබා දී තිබෙනා සහතික මිල ගණනය කර සහල් අලෙවි කරන බවද පවසා සිටියේය.
මේ නිසා වී වලට ලබා දී තිබෙනා සහතික මේ රට තුළ නීතිගත කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොමැති බවත්, මේ නිසා අදාළ ගැටලු පිලිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියත්, එම අවස්ථාවන් මෙතෙක් ලැබී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා මේ මස 09 වැනිදා ලංකාව පුරාම ගොවිජනතාව කැඳවා විරෝධතාවක් දක්වා අදාළ ගැටලුව විසඳීමට හැකි රාජ්‍ය ආයතනයක් ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් සිදුකරන බවත්, සත්‍යග්‍රහය සිදුකරන ස්ථානය එදින ප්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

