අලුතින් ඉදිකෙරෙන කිසිදු පොදු ස්ථානයක විශේෂ අවශ්‍යතා ඇති අයට සමාන ඉඩ ප්රස්ථා නොමැතිව සැදීමට ඉඩ නොදෙන බවත්, එලෙස නොකරන ස්ථානවලට නඩු දමා නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් සමාජ සවිබල ගැන්වීමේ හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පෙරේදා (14දා) මහනුවරදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (15දා) දිනට යෙදෙන ජාත්‍යන්තර සුදුසැරයටි දිනය සමරා මධ්‍යම පළාත් ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සංගමය මගින් සංවිධානය කරන ලද සුදුසැරයටි පාගමන අවසානයේදී ඊ.එල්. සේනානායක පුස්තකාලයේදී පැවැති සැමරුම් උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''අපි නව පොදු ස්ථානවල ආබාධිතයන්ට සම ලෙස සලකා ආයතනවලට කටයුතු කරන්න කියන්නෙ. පැරණි ගොඩනැගිලිවලත් අපි දැන් සොයා බලනවා අලුතින් මේ දේවල් කරන්නෙ කොහොමද කියලා. ඒවායේ උනත් අපට ආබාධිත අයට අවශ්‍ය කටයුතු කර දෙන්න බැරිවෙන එකක් නැහැ.
නාගරික සභා, මහනගර සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභාවන්ට නව ඉදිකිරීම් අනුමත කරන විට ආබාධිතයන්ට සමාන ඉඩ ප්රස්ථා ඇතිව අනුමත කරන ලෙස නීති පනවා තිබුණත් ඒවා එලෙස නොවන බව දැනගන්න ලැබිල තියෙනවා. මේ වනවිට පොදු ස්ථාන 11කට පමණ නඩු දමා තියෙනවා. ඔවුන් පළමුවැනි නඩු වාරයේදීම එම ස්ථාන නිවැරදි ලෙස ආබාධිතයන්ට සමාන ඉඩ ප්රස්ථා ඇතිව සාදන බවට පොරොන්දු වෙලා යනවා.
ඉදිරියේදී සියලුම නව ඉදිකිරීම්වල ආබාධිතයන්ට සමාන ඉඩප්රස්ථා ඇතිව සෑදීමට උපදෙස් දෙනවා.
ඉදිරියේදී මහාමාර්ගවල මාර්ග සංඥා ඇති තැන්වල ආලෝක පද්ධතිවලට අමතරව ආබාධිතයන්ට ඇසෙන ලෙස ශබ්දයක් ඇතිවන අයුරින් නව ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්න කටයුතු කරනවා'' යැයි පැවසීය.