විශ්‍රාම ලබන රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය එම රාජ්‍ය සේවකයා විශ්‍රාම ලබන දිනයේදීම ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඊයේ (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
පාරිතෝෂික දීමනාව ලබාදීම ගැන අසත්‍ය තොරතුරු රැසක් රටපුරා ප්‍රචාරය වීම නිසා රාජ්‍ය සේවකයා තුළ වැරදි මතයක් ගොඩනැඟීමට උත්සාහ දරන නිසා මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බව පැවසූ ලේකම්වරයා ස්ථිර රජයේ සේවකයන් විශ්‍රාම ලැබීමෙන් පසු විශ්‍රා වැටුප් හිමිකම වරප්‍රසාදයක් බවද සඳහන් කළේය.
“2002 පැවති රජයෙන් අහෝසි කරන ලද විශ්‍රාම වැටුප් හිමිකම් මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව 2005දී නැවත ස්ථිරවම ක්‍රියාත්මක කළා. ඒ අනුව 450,000ක පමණ පිරිසක් මේ වනවිට විශ්‍රාම වැටුප් ලබනවා. ඒ සඳහා වසරකට රු.බිලියන 125කට ආසන්න මුදලක් වැය වෙනවා. එමෙන්ම වසරකට 20,000ක පමණ පිරිසක් විශ්‍රාම ලබනවා. 2006 නව වැටුප් චක්‍රලේඛය යටතේ වැඩි කළ වැටුප් නිසාත්, ඉල්ලුම්පත් වැඩි ප්‍රමාණයක් ඇති නිසාත් විශ්‍රාම වැටුප් ගෙවීමේදී ප්‍රමාදයක් සිදුවෙනවා. ගිය වසරේ පමණක් 15,000ක් ඉල්ලුම්පත් ලැබී තිබුණා. මේ තත්ත්වය තුළ විශ්‍රාම ගැනීමේදී නියමිත දිනට විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදි ප්‍රමාදයක් සිදුවෙනවා. මීට විසඳුමක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව විශ්‍රාම ගිය දිනම මෙම පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ලෙස රජයේ බැංකු මඟින් මේ පාරිතෝෂිකය ගෙවීම සිදු කරනවා.
දැනට පවතින ක්‍රමය එසේම ක්‍රියාත්මක වන අතරම නව ක්‍රමයට කැමැත්තක් ඇති විශ්‍රාමිකයන්ට තමන්ට හිමි පාරිතෝෂිකය කඩිනමින් ලබා ගැනීමට පුළුවන්. දැනටමත් පාරිතෝෂික දීමනාව අපේක්ෂාවෙන් සිටින විශ්‍රාමලත් රාජ්‍ය සේවකයන්ට හා ඉදිරියේදී විශ්‍රාම ගන්නා අයට අදාළ බැංකු ගිණුම් සම්පූර්ණ කළ පසු එම මුදල් ලබා ගත හැකියි. මේ සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව එකඟත්වය පළ කර තිබෙනවා. බැංකුව විසින් සපයන පාරිතෝෂික දීමනාව වසර 18කදී පොලී රහිතව විශ්‍රාම වැටුපෙන් ගෙවීමට අවස්ථාව පවතිනවා. බැංකුව විසින් මේ මුදල් සැපයීමේදි ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ බැංකු සමඟ විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක වීමයි. ඒ හැර වෙනත් ඇපකර අවශ්‍ය වන්නේ නැහැ.
එම පාරිතෝෂික මුදල සඳහා බැංකුව දරන ප්‍රාග්ධන මුදලට අදාළ පොලී ගෙවීම වාර්ෂිකව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහාම වෙන් වූ අයවැය ප්‍රතිපාදන මඟින් සිදු කරනවා. යම් අවස්ථාවක විශ්‍රාම වැටුප්ලාභීයා මිය ගිය හොත් බැංකුවට ගෙවීමට නියමිත මුදල රජය විසින් දරනවා” යැයි පී.බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.