පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්රික්ක විසිතුනක ලක්ෂ දහයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තාවේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානයඊයේ (24දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වූයේ පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්රික්ක 23 ක පවුල් 244,419කට අයත් පුද්ගලයින් 906,535 ක් පීඩාවට පත්ව සිටින බවයි.
මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ පොළොන්නරුව දිස්ත්රික්කයෙහි වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 28,275කට අයත් 133,867 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
මීට අමතරව මොනරාගල දිස්ත්රික්කයේ පවුල් 25,457කට අයත් පුද්ගලයින් 87,039 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, මඩකලපුව දිස්ත්රික්කයේ පවුල් 20,474කට අයත් පුද්ගලයින් 71,257 ක් පීඩාවට පත්ව ඇත.
අම්පාර දිස්ත්රික්කයේ පවුල් 19,015කට අයත් පුද්ගලයන් 68,592 ක් පීඩාවට පත්ව සිටින අතර, දෛනික වාර්තාවට අනුව පීඩාවට පත් පිරිස් වාර්තා නොවන්නේ කොළඹ හා බදුල්ල දිස්ත්රික්කවලින් පමණි.