වියට්නාමයේ කැරොකේ සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
හැනොයි දිස්ත්‍රික්කයේ, කාවු ගියායි නගරයේ මහල් අටකින් යුතු කැරොකේ සමාජ ශාලාවක මෙම ගින්න පැතිරී ඇත.
මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවට පැය පහකට අධික කාලයක් ගතවී ඇති අතර, මෙම මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද පිළිස්සුම් තුවාල ලබා තිබේ.
මෙහි ආරක්ෂකයෙකු ලෙස කටයුතු පුද්ගලයෙක් පොලීසිය වෙත පවසා තිබුණේ, කැරොකේ සමාජ ශාලාවේ නාම පුවරුවලින් මුලින්ම ගින්න ඇති වූ බවයි. එය ඉතා වේගයෙන් පැතිර ගිය බවද හෙතෙම පවසා ඇත.
එමෙන්ම ඒ අවට තිබූ ගොඩනැගිලි තුනකටද ගින්න පැතිර ගොස් තිබුණු අතර, මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් මෙන්ම යතුරුපැදි රැසක්ද ගින්නට හසුව විනාශ වී ගොස් තිබේ.
මේ අතර, වියට්නාම අගමැති නගුයෙන් ෂුආන් ෆූක් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු නීතිය කැඩීමක් සිදුව ඇත්නම් වහාම ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම, රට පුරා ඇති කැරොකේ සමාජ ශාලා හා අවන්හල් තුළ හදිසි ගිනි ආරක්ෂණ පද්ධතියක් පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තමාවෙත වාර්තාවක් ලබාදෙන ලෙසද අගමැතිවරයා බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.