ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක සහකාර තනතුරට බඳවාගැනීම සඳහා පැවති තරග විභාගය ආරම්භවීමට පෙර ප්‍රශ්නපත්‍රය පිටවී තිබීම පිළිබඳව එම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයේදී ඊයේ (18 දා) පැවති මෙම විභාගය ආරම්භ වීමට පෙර, විභාග මධ්‍යස්ථානයේ පංති කාමරයක මේසයක් උඩ තිබී අත්අකුරින් ප්‍රශ්න හා පිළිතුරු ලියූ කඩදාසි කිහිපයක් හමු වී තිබෙන අතර,කලින් ප්‍රශ්නපත්‍ර පිටවීමක් සිදුව ඇතැයි ඉන් පැහැදිලි වන බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විභාගයේ විනිවිදභාවය පිලිබඳව ගැටලුවක් ඇතිවන බවත්, සැබෑ සුදුසුකම් සපුරන පුද්ගලයන්ට මෙම තනතුර සඳහා ඇතුළත් වීමේ අයිතිවාසිකම් මෙමගින් ඇහිරී ඇති බවත් විභාග අපේක්ෂකයන් පවසති.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක තනතුරු සිය ගණනක් පුරප්පාඩු වී තිබෙන බැවින් මෙම විභාගය යළි පවත්වා සාධාරණ ප්‍රතිඵලයක් නිකුත් කරන්නැයිවිභාගයට පෙනී සිටි අයදුම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.