විපක්ෂ නායක තනතුරට ජවිපෙ සුදුසුයි
අර්බුදයට ලක්ව තිබෙන විපක්ෂ නායක තනතුරට මන්ත්රීවරයෙකු පත්කිරීමේදී විපක්ෂ නායක තනතුර ලැබීමට විශේෂ සුදුසුකමක් තම පක්ෂයට ලැබී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (31දා) කථානායකවරයාට දන්වා තිබේ.
විපක්ෂ නායක තනතුර පිළිබඳව කතානායකවරයා විසින් පක්ෂ නායකයන්ගෙන් සහ ස්වාධීන මන්ත්රීවරුන්ගෙන් ඊයේ (31දා) දින කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණ මෙම අදහස් ඉදිරිපත් කර ඇත.
එහිද පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පක්ෂයේ අදහස් දැක්වීමේදී සඳහන් කර තිබෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂයත් නියෝජනය කරන නිසා විපක්ෂ නායක තනතුරේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට තවදුරටත් රැඳී සිටිය නොහැකි බවත්ය.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නිසා විපක්ෂ නායක තනතුරට දිනේෂ් ගුණවර්ධන මහතාද සුදුසුකම් නොලබන බවත්, ඔහු විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස වැඩිම ඉල්ලීම කරන්නේත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව 'අද' ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතාගෙන් සිදුකළ විමසීමකදී ප්රචාරක ලේකම්වරයා සඳහන් කළේ,
නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන නිසා ඔහුට විපක්ෂ නායක ධුරයේ රැඳී සීටිමට නොහැකි බවට පක්ෂ කරුණු දැක්වූ බවය.
මීට අමතරව ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය තුළ දිනේෂ් ගුණවර්ධන මන්ත්රීතුමා නියෝජනය කරන නිසා ඔහුටත් විපක්ෂ නායක තනතුර දැරීමට සුදුසුකම නොමැති බවත් පෙන්වා දුන් බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා විපක්ෂ නායක තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සුදුසුකම් ලබා තිබෙන බවට සඳහන් කළ බවද හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

