රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිටරටින් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීම පිලිබඳ කිසිඳු ඉඩක් නොමැති බවත් ජනාධිපති ලෙස තමා ඒ සඳහා ඉඩක් ලබාදීමට ද කිසිසේත් සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පේරාදෙණිය ශ්‍රී සුබෝධිරාම විහාරස්ථානයේදී පැවසීය.
රට, ජාතිය නොමග යවන සුළු අසත්‍ය ප්‍රකාශ තමා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් එමෙන්ම ඇතැම් අවස්ථාවල රටේ මාධ්‍ය හැසිරීම පිලිබඳ තමා දැඩි ලෙස කණගාටු වන බවද කියා සිටි ජනාධිපතිවරයා මාධ්‍යයේ වගකීම රට ජාතිය යහපත් කිරීම විනා නොමග යැවීම නොවන බවද අවධාරණය කළේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති යෝජනාවල යුධ අධිකරණයක් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල මහතා එහි සඳහන්ව ඇත්තේ රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය මෙන්ම මානුෂීය අයිතින් පිලිබඳ අවධානය යොමු කරන ලෙස කළ ඉල්ලීම් පමණක් බව ද කියා සිටියේය.
වසර 26 ක් අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාවගේ ගැටලූ විසදමින් වත්මන් රජය ඉටු කරමින් සිටින්නේ නිදහසින් පසු බිහි වූ කිසිඳු රජයක් එම ජනතාව වෙනුවෙන් ඉටු නොකළ වැඩ කොටසක් බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට තුළ සමානාත්මතාවය සහ සහජීවනය ඇති කරමින් සාධාරණ සමාජයක් ගොඩනැඟීමට රජය ගෙන යන එම වැඩපිළිවෙලද අද ඇතැමුන්ගේ විවේචනයට ලක්ව ඇති බව කියා සිටියේය.