විදුලි ජාලකරණයේ ඉතා ප්‍රබල අස්ථායී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (27දා) රාත්‍රියේ දිවයින පුරා විදුලි ඇනහිටීමක් සිදුවන්නට ඇතැයි සැකකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම සිදුවීමේ නිශ්චිත හේතු සොයාගැනීම සඳහා තවදුරටත් තාක්ෂණික පරීක්ෂණ සිදුකරන බවත්, ඊයේ (28දා) අලුයම වනවිට ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
දීර්ඝ සති අන්තය සහ පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ අවස්ථාවේ මුළු පද්ධති විදුලි ඉල්ලුම ඉතා අඩු තත්ත්වයක පැවති බවද එම මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමාන්‍ය වැඩ කරන දිනයකදී රාත්‍රී කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2,100 දක්වා ඉහළ යන අතර, එය මධ්‍යම රාත්රියේදී මෙගා වොට් 1,100 දක්වා අඩුවන බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
සති අන්තයේ උපරිම රාත්‍රී විදුලි ඉල්ලුම මෙගාවොට් 1,900 ක් වන අතර, පසුගිය ඉරිදා දිනයේ විදුලි ඉල්ලුම සුවිශේෂී ලෙස මෙගාවොට් 1,775 ක් දක්වා අවම වී ඇති බවත්, රාත්‍රී 12.53 ට එය මෙගාවොට් 940 ක් දක්වා අඩු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙලෙස ඇති වූ ප්‍රබල අස්ථායී තත්ත්වය හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි ඇනහිටීමක් වාර්තා වූ බවද අදාළ නිවේදනයෙන් ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියි.