අයහපත් කාලගුණය හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම හෙට (06දා) වනවිට 100%ක් යථා තත්ත්වයට පත්කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වැලිගමදී අද (05දා) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. ආපදාව හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 627000කගේ පමණ විදුලිය විසන්ධි වූ බවත්, එයින් සියයට 99ක් පමණ අද දිනයේදී යථා තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
විදුලිය බිඳවැටීමට අමතරව ආරක්ෂාව පිණිස විදුලිය විසන්ධි කිරීම සිදුවූ බවත්, මාතර දිස්ත්‍රික්කයට වැඩිම හානියක් සිදුව තිබූ බවත් ඔහු පැවසීය.
අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා වූ සියලු දෙනාගේම කැපවීම මත මෙම තත්ත්වයට පැමිණි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.