ඉදිරි සති දෙක තුළ වැස්ස අඩු වුවද විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත්, එහෙත් ඉදිරි මාස දෙක තුළ වැස්ස නොමැති වුවහොත් ලබන ජනවාරි මාසයේ සිට විදුලි අර්බුදයක් ඇති විය හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
නොරොච්චෝලේ බලාගාරය උපරිමයෙන් ධාවනය වන බවත්, ඒ මගින් සමස්ත විදුලි ඉල්ලුමෙන් 50% ක් සම්පූර්ණ කරන බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.
මේ නිසා ඉදිරි දෙසතිය තුළ වැසි නොලැබුණා යැයි කියා විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව මෙරට විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීම ගැන අදහසක් ඉදිරිපත් වී තිබෙන බවත්, මෙවැනි අදහස් ඉදිරිපත් කළදසැලසුම් කළ ආකාරයට මෙරට තුළ විදුලි බලාගාර ඉදිකළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
විදුලිය හුවමාරු කරගැනීම තාක්ෂණික අතින් හොඳ ක්‍රියාවක් බවත්, එහෙත් ඒ තුළින් රටට ආර්ථික වාසියක් අත්විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
පොදුවේ ඉන්දියාවෙන් මෙරටට විදුලිය ලබාගැනීමට කටයුතු කළද දකුණු ඉන්දියාවේ දිනකට පැය 10කට වැඩි විදුලි කප්පාදුවක් සිදුවන බවත්, මීට අමතරව තවත් රටකින් විදුලිය ලබාගැනීම රටේ ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකි බවත් අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.
අවශ්‍යතාවක් තිබෙනවා නම් මන්නාරමේ සිට යාපනය දක්වා වූ මුහුදු තීරයේ සුළං බලාගාර ඉදිකර මෙගාවොට් 1,000කට අධික ප්‍රමාණයක් සකස් කරගත හැකි බවත්, එම විදුලිය ඉන්දියාවට පවා විකිණිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.