සිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බවට රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ මේ වනවිටත් රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධාවක් වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා පැවසීය.
හෙතෙම මේ පැවසුවේ, යාපනයට පැමිණි ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී සිමෝනිටා සොමාරු සමග ඊයේ (03දා) දහවල් සිය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, "යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැඳීසිටීම නිසා මේ වසරේ ගත වූ කාලය තුළ සාමන්‍ය වැසියන් අනවශ්‍ය වධ බන්ධනවලට ලක්වීමේ සිද්ධීන් දාහතක් වාර්තා වුණා. හමුදාව උතුරේ රැඳී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බව හා රජය එය නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුවත් උතුරේ ඉඩම් අක්කර 4,500 ක් පමණ අලුතින් අත්පත් කරගෙන තිබෙනවා." යනුවෙනි.