මහා බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියාන් අසන්ජේගේ අන්තර්ජාල පහසුකම් ඉක්වදෝර රජය විසින් පාලනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සති කිහිපය තුළ ඔහු විසින් මුදාහැර තිබූ තොරතුරු ඇමෙරිකානු මැතිවරණය කෙරෙහි බලපෑමක් ඇති කරවිය හැකි බව සලකා බලා ඉක්වදෝර රජය මෙම තීරණය ගෙන ඇති බව කියයි.
කෙසේ වෙතත්, මෙය වොෂිංටනයේ බලපෑමක් මත සිදුකළ ක්‍රියාවක් නොවන බවද ඉක්වදෝරය පවසා තිබේ.
එමෙන්ම, හිලරි ක්ලින්ටන් පිළිබඳ අනාවරණ රැසක් සිදුකළ තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස තමන් ඉක්වදෝර රජයෙන් ඉල්ලා නොසිටි බව ඇමෙරිකාවද පවසා තිබේ.
2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටින ජූලියාන් අසන්ජේ විසින් වරින් වර නිකුත් කරන ලද තොරතුරු ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
ඉක්වදෝර විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අසන්ජේ විසින් පසුගිය සති කිහිපය තුළ ප්‍රසිද්ධ කළ තොරතුරු විකිලීක්ස් හි වගකීමක් මිස, ඊට කිසිසේත්ම ඉක්වදෝරය වගනොකියන බවද සඳහන් වෙයි. එමෙන්ම, ඇමෙරිකානු මැතිවරණ ක්‍රියාවලිය සඳහා බාධා කිරීම හෝ ඒ වෙත බලපෑම් කිරීමට ඉක්වදෝරයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ජූලියාන් අසන්ජේ විසින් හිලරි ක්ලින්ටන් පිළිබඳව නිකුත් කළ රහසිගත තොරතුරු පිළිබඳ උනන්දුව මේ සිදුවීමත් සමග තවත් වැඩිවී ඇති බවද විදෙස් වාර්තා පවසයි.