ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වකුගඩු රෝගීන් පන්දහසක් පමණ අලුතෙන් සොයාගැනෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ, 'සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්' යන තේමාව යටතේ වකුගඩු බද්ධ කිරීම පිළිබඳව නව ප්‍රතිපත්ති හඳුන්වාදීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජෙනරාල්වරයා,
'2010 වසර වනවිට වකුගඩු බද්ධ කිරීම ශ්‍රී ලංකාව තුළ 79,133 ක් සිදුකර තිබෙනවා. වකුගඩු බද්ධ කිරීමට රෝහල් අටක සේවා ක්‍රියාත්මක අතර වකුගඩු පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව අවම වීම ගැටලුසහගත කරුණක්. එම නිසා රිය අනතුරුවලට ලක්වන්නන්ගේ වකුගඩු බද්ධකිරීම සඳහා යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර මහ රෝහලින් ආරම්භ කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය මාළිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේදීද ඉදිරියේ සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. දැනට රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 253 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතිනවා. ඉදිරි මාස තුන තුළ තවත් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 114 ක් මිලදී ගැනීමට නියමිතව තිබෙනවා. වකුගඩු පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව තවත් වැඩි විය යුතුයි. ඒ සඳහා ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ අභිලාෂය ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රයක් සහ කාඩ් පතක් අද හඳුන්වා දුන්නා. වකුගඩු කාන්දු පෙරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය හෙද හෙදියන් කඩිනමින් ප්‍රමුඛත්වය මත ලබාදීමට පියවර ගන්නවා. දැනට හෙද හෙදියන් 31,000 ක් රාජ්‍ය සේවයේ සිටින අතර මෙම වසරේ දෙසැම්බර් මස තවත් හෙද හෙදියන් 1800 ක් රාජ්‍ය සේවයට එක්වෙනවා. ජනාධිපති වකුගඩු අරමුදලින් රුපියල් බිලියන 6ක මුදලක් නිවාරණ කටයුතු සඳහා ලබාදී තිබෙනවා. ජාතික තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද නියමිතව පවතිනවා' යැයි පැවසීය.
එහිදී ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ අභිලාෂය ප්‍රකාශ කිරීම සඳහා වූ ආකෘති පත්‍රය සහ කාඩ්පත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත පිරිනැමුණු අතර, ඒ අනුව තම වකුගඩු පරිත්‍යාග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රථම ආකෘති පත්‍රයට අත්සන් කළේය.