මහජන මුදලින් ඉදිකෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශපාලඥයන්ගේ නම් යෙදීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අඟුණුකොළපැලැස්ස තලාව ප්‍ර‘දේශයේ පැවැති ලෝක වැඩිහිටි දින උත්සවයට සහභාගි වෙමිනි.
“අපේ රටේ 1948 නිදහසෙන් පසු මේ වනතෙක් කිසිදු දේශපාලඥයෙක් තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරලා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා නැහැ. එක්කෝ ගිනි පොලියට විදේශ රටවලින් ණයට ගත්ත මුදල්, එහෙම නැත්නම් ආධාර හෝ සහන පදනම මත ලබාදුන් ණයවලින් තමයි මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ.
නමුත් මේවාට ගෙවන පොලිය හා ණය වාරික සියල්ලේම බර දරන්නේ රටේ අහිංසක මහජනතාව. මහපාරේ දහඩිය පෙරාගෙන ලොතරැයි අලෙවි කරලා ජීවිතය ගැටගහන්න උත්සහ දරන මිනිස්සුන්ගෙනුත්, කම්හලේ වැඩපොළේ ජීවත් වෙන්න මහන්සි වෙන මිනිස්සුන්ගෙනුත් හාල් කිලෝ එකෙන්, සීනි කිලෝ එකෙන් අය කරන බදු තමයි මේවාට ගෙවන්නේ.
එමනිසා මහජන මුදලින් නඩත්තුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා කිසිදු දේශපාලඥයෙකුගේ නමක් යෙදිය යුතු නෑ. එහෙම කරනවානම් ඒ පුද්ගලයා තමන් ගැනම ලැජ්ජා විය යුතුයි. මම කිසිදු සංවර්ධන යෝජනා ක්‍රමයකට මගේ නම යොදන්නේ නෑ. කවුරුහරි මගෙන් එහෙම ඇහැව්වොත් මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා" යැයිද අමාත්‍යවරයා උත්සවයේදී වැඩිදුරටත් පැවසීය.