ව්‍යවස්ථාදායක සභාවට පත්කළ සාමාජිකයන් පිළිබඳ පක්ෂ විපක්ෂ අතර එකඟතාවක් නොමැතිවීමෙන් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම ඊයේ (03දා) කල් ගියේය.
අලුතින් සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාව පිහිටවිය යුතු අතර, ඒ සඳහා සාමාජිකයන් 10 ක් පත්කළ යුතුය.
පාර්ලිමේන්තුවේ කථානායක, අග්‍රාමාත්‍ය හා විපක්ෂනායක එහි නිල සාමාජිකයෝ වෙති. එමෙන්ම ජනාධිපතිවරයා තම නියෝජිතයා ලෙස මන්ත්‍රීවරයෙකුද, සුළු පක්ෂ නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරයෙකුද එම සභාවට පත්කළ යුතුය.
ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා එක්ව තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කළ යුතු වේ.
දසදෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයන් තිදෙනා පත්කළ යුතු වන්නේ සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයන්ය. ඒ අනුව ඒ සඳහා සිවිල් සමාජය නියෝජනය කරමින් සර්වෝදය සභාපති ආචාර්ය ඒ.ටී. ආරියරත්න, විශ්‍රාමික විනිසුරු අබ්දුල් වහීඩ් අබ්දුල් සලාම් සහ ආචාර්ය රාධිකා කුමාරස්වාමි යන අය යෝජනා කර ඇත.
කෙසේ නමුත් මෙකී පත්වීම් කෙරෙහි ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයෙන් විරෝධය පළවූ අතර, අදාළ පත්කිරීම්වලදී අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක විසින් සෙසු පක්ෂ විමසීමක් කර නොමැති බවට එහිදී චෝදනා එල්ල විය.
ඒ අනුව අදාළ එකඟතාවට පැමිණෙන තෙක් ප.ව. 1.00 ට පමණ පාර්ලිමේන්තුව කල්තබන ලදී.
අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යවස්ථාදායක සභාවට කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු පත්කිරීමට විරුද්ධ වූ බවයි. කාන්තා නියෝජනයක් සහිතව කාන්තාවක පත්කිරීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන්ගේ අදහස් විමසා නැතැයිද ඔහු සඳහන් කළේය.
එසේම වතුකම්කරු ජනතාව නියෝජනය වන පරිද්දෙන් මෙයට නියෝජිතයෙකු පත්කර නොමැති බැවින් අදාළ අඩුපාඩු සකස් කරන තෙක් පාර්ලිමේන්තුව කල් තැබූ බවත් ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ, වත්මන් පාර්ලිමේන්තුව නොබෝ දිනකින් විසුරුවා හැරීමට නියමිත බවත්, ඒ අනුව නව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්ෂ නායක කවුරුන්ද යන්න කිව නොහැකි බවත්ය. එබැවින් ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් කල් දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද එම අදහස සනාථ කළේය.