රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 8 තුළදී මහජන ඇමතුම් ලක්ෂ 80 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
නියෝජිතායතනය පෙන්වා දෙන පරිදි, මෙම ඇමතුම් ප්‍රමාණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
රාජ්‍ය ආයතන 20කට අදාළ තොරතුරු ලබාදෙමින් ආරම්භ වූ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මේ වනවිට ආයතන 300කට අයත් සේවාවන් දෙදහසක් පමණ ලබාදීමට සමත් වී තිබේ.
www.gic.gov.lk රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවියෙහි අන්තර්ගත තොරතුරුද මේ වනවිට පුළුල් වී තිබෙන අතර, රාජ්‍ය ආයතනයකින් පුරවැසි සේවාවන් ලබා ගැනීම සඳහා අවශ්‍යය අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගැනීම, මහජන පැමිණිලි යොමු කිරීම, රාජ්‍ය ඉ-සේවා ලබාගැනීම සඳහා උපකාරක සේවා සැපයීම එම පහසුකම් අතර වේ.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ගව් එස්එම්එස් නමින් කෙටි පණිවිඩ සේවයක්ද මේ වනවිට ක්‍රියාත්මක අතර දුම්රිය ධාවන කාලසටහන් තොරතුරු, තේ මිල තොරතුරු, මාළු මිල ගණන්, ජලාශ රැඳවුම් තොරතුරු ආදී තොරතුරු රැසක් කෙටි පණිවිඩයක් මගින් දැනගැනීමේ පහසුකම එමගින් ජනතාවට සලසා දී ඇති බව පවසයි.
මෙහිදී, ජනතාව වැඩි වශයෙන්ම ඇමතුම් ලබාදී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව යන ආයතනවල තොරතුරු දැනගැනීම සඳහාය.
2014 එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාව මගින්ද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය විශේෂ ඇගයීමට ලක්ව තිබීම විශේෂත්වයක් බවද නියෝජිතායතනය පවසයි.
රාජ්‍ය ආයතන මගින් සැපයෙන සේවාවන් පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2006 වසරේදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ආරම්භ කෙරිණි.