එජාපයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතා 1946 දී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි එකම ජාතිකයක් ලෙස සිටිය යුතු බවට වසර 70ට කලින් කියූ දේ අදත් අපිට කියන්න සිදුව ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැති එජාප 70 වැනි සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කියා සිටියේය.
එබැවින් එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සිංහලයිනි නැගිටිව් කියලා අද පොදු ජනතාවගේ සේවකයා විදියට මම කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා යැයි ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ වැඩිම කොටස්කරුවන් සිටින පක්ෂයේ සංවත්සරයට ආරාධනා ලැබීම සතුටක් බවද ජනාධිපතිවරයා පැවසුවේය.
ඩී.එස් සේනානායක, එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක, චෙල්වනායගම් වැනි නායකයින් අදින් අවුරුදු ගාණකට කලින් සිදුකළ එම ප්‍රකාශ අදටත් අපට කියන්න සිදුව ඇත්තේ මේ රටේ සියලූ ජාතීන් සංහිඳියාව වෙනුවෙන් කටයුතු නොකළ නිසා බවත්, එහි ප්‍රතිඵලය 30 වසරක යුද්ධය බවත්, ඒ මහතා පැවසුවේය.
අප ප්‍රශ්න දෙස බැලිය යුත්තේ බුද්ධියෙන් හා පරිණතභාවයෙන් බවත්, ප්රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීම අවශ්‍ය බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී 62ලක්ෂ 50,000ක් ඡන්දය දුන්නේ අප විසින් රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ අඩංගු කරුණු ඉටු කිරීමට බවත්, ඒවා දිවිහිමියෙන් ඉටුකිරීමට තමා බැඳී සිටින බවත්, ජනාධිපතිවරයා එහිදී පැවසීය.
කෙසේ හෝ දැන් එළඹ ඇත්තේ රට ගොඩනැඟීමට කාලය බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා ශ්රීලනිපයටත් එක්සත් ජාතික පක්ෂයටත් එකට හිටගෙන මේ රට ගොඩනඟන්න පුළුවන් බවද, බලයක් නොමැතිව කරන විවේචනවල සරල බැවින් ප්‍රශ්න දිහා ගැඹුරින් බැලිය යුතු බවද ඔහු පැවසුවේය.
"දූෂණය, වංචාව, හොරකම පවුල්වාදය, නැතිකර ජාතික සංහිඳියාව ගොඩනැඟීමට අපි කැපවී ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපී පෙනී ඉන්නවා. සමහරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන, අපි කරන දේවල් ගැන සම්පූර්ණ අසත්‍ය ජනතාව අතර පතුරුවනවා. සියළු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා ජාතික අපරාධ කරන්න එපා. ඒ ඛේදවාචකය කරන්න එපා කියලා. මේ උතුම් ශ්‍රී ලංකාව ලොව විශිෂ්ට රාජ්‍යක් ලෙස පත්කරන්න උදව් කරන්න. හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හැදීමට මුළු සමාජ සංස්ථාව තුළම සාමය සමගිය ස්ථාපිත කරන්න කැපවෙමු" යැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.