පසුගිය වසර දෙක තුළදී (2014-15) දුම්රිය අනතුරු හේතුවෙන් 323 දෙනෙකු මියගොස් , 800 දෙනෙකු තුවාල ලබා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ 2015 වසරේ කාර්යසාධක වාර්තාව අනාවරණය කරයි.2014 වසරේදී මරණ 148ක් සහ 2015 වසරේදී මරණ 175ක් වශයෙන් වාර්තා වී තිබේ.දුම්රියට පැන සියදිවි නසාගැනීම් හේතුවෙන් වැඩි වශයෙන් මරණ සහ තුවාලවීම් සිදුව ඇත.
පසුගිය වසර දෙක තුළදී දුම්රියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමේදී මරණ 303ක් හා තුවාල වීම් 500ක්ද, දුම්රියේ ගැටීම නිසා තුවාල වීම් 45ක්ද, දුම්රියෙන් වැටීම නිසා මරණ 4ක් හා තුවාල වීම් 135ක්ද, දුම්රියට ගල්ගැසීම නිසා මරණ 1ක් හා තුවාල වීම් 33ක්ද, දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු නිසා මරණ 15ක් හා තුවාල වීම් 87ක්ද වාර්තා වන බව එහි සඳහන් වෙයි.පීලිපැනීම සහ දුම්රිය එකිනෙක ගැටීම නිසා තුවලවීම් හෝ මරණ වාර්තා වී නැතැයිද කාර්යසාධක වාර්තාවේ දක්වා තිබේ.
දුම්රිය මාර්ගයන්හි ගමන කිරීමේදී පුද්ගලයන්ගේ අපරික්ෂාකාරී හැසිරීම මරණ සංඛ්‍යාව වැඩිවීමට බලපා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
මේ අතර නීත්‍යනුකූල නොවන අයුරින් දුම්රිය භාවිත කරන පුද්ගලයන් 1851 දෙනෙකුට විරුද්ධව කටයුතුකොට රුපියල් 6592759 මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂ සේවයට පසුගිය වසරේදී හැකිවූ බවද කාර්යසාධක වාර්තාව අනාවරණය කරයි.
ඒ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ 746 දෙනෙකුගෙන් රුපියල් 19034ක්ද, ප්රවේශපත්රයට අදාළ නොවන පන්තියේ ගමන් කළ පුද්ගලයන් 645 දෙනෙකුගෙන් රුපියල් 1746659ක්ද, අධි බර ප්‍රවාහන කළ 55 දෙනෙකුගෙන් රුපියල් 18763ක්ද, උසාවියට යොමු කළ පුද්ගලයන් 320 දෙනෙකුගෙන් රුපියල් 305580ක්ද, ගේට්ටු අලාභ හානි සහ හිඟ බදු මුදල් වශයෙන් පුද්ගලයන් 85 දෙනෙකුගෙන් රුපියල් 2618282ක්ද අය කරගෙන තිබේ.
එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනුයේ 2011 සිට 2015 අවසානය දක්වා දුම්රිය එන්ජින් දෝෂ 2754ක්ද , 2013 සිට 2015 අවසානය දක්වා සංඥා දෝෂ 6179ක්ද වාර්තා වන බවයි.