වවුනියාව පත්තිනියාර්මහියන්කුලම ප්‍රදේශයේදී ඊයේ (21දා) රාත්‍රියේ හිටපු පොලිස් නිලධාරියෙකුට කිසියම් පිරිසක් පහරදී ඝාතනය කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වික්‍රමරත්න ගුණසිරි (අවු.59) නමැත්තෙකි.
අදාළ පොලිස් නිලධාරියා 1985 වසරේදී පොලිස් සේවයට බැඳී පසුව පොලිස් සේවයෙන් ඉවත්ව ජර්මනියේ පදිංචියට ගොස් නැවත පැමිණ වවුනියාවේ පදිංචිව ඇතැයි පොලීසිය පැවසීය.
සිය නිවසට පැමිණි හිටපු පොලිස් නිලධාරියා නිවසේ අලුත්වැඩියා කිරීමේ කටයුතු පසුගිය දිනයන්හි සිදුකර ඇති අතර, ඊට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නිවසට පැමිණි ටිපර් රථ රියදුරෙකු මොහුගේ මළසිරුර දැක ඒ සම්බන්ධයෙන් අද (22දා) උදෑසන වවුනියාව පොලීසියට පැමිණිලි කර ඇතැයි වවුනියාව පොලීසිය පැවසීය.
මියගිය පොලිස් නිලධාරියාගේ නිවස අසල ඊයේ රාත්‍රියේ කිසියම් සාදයක් පැවැති බවත්, එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
කෙසේ වෙතත් අදාළ පහර දීමට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකුගෙන් මේ වනවිට වවුනියාව පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.