කොළඹ වරාය නගරයේ ඉඩම් වෙන්දේසි කිරීම ලබන වසරේදී ආරම්භ කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මීගොඩදී පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය. එසේම සියලු අධිවේගී මාර්ග සඳහා එක්විය හැකි මධ්‍යස්ථානයක් කොළඹ ඉදි කරන බවත් ඔහු පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ලබන වසරේ අපි වරාය නගරයේ පළමුවැනි ඉඩම් වෙන්දේසිය ආරම්භ කරනවා. කොළඹ වරාය නගරය අපි අධිවේගී මාර්ග පද්ධතියට එක් කරනවා. ඉඟරු කඩේ හන්දිය, වරාය හරහා කොටුවට අලුත් මාර්ගයක් ගමන් කරනවා. එම මාර්ගය මල්වත්ත පාරෙන් දුම්රියපොළට ගෙන යනවා. එතන තිබෙන චාමර්ස් ගැලරි එකේ ඉඩම අක්කර නමයක්. එහි විශාල වාණිජ සංකීර්ණයක් සමග වැඩපිළිවෙළක් ආරම්භ වෙනවා.
එතන අපි හඳුන්වන්නේ කලම්බු ගේට් කියලයි. එතනින් වරායට යන්න, රටේ ඕන තැනකට යන්න අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. දැනට තිබෙන බැස්ටියන් මාවතත්, රේල්වේ ස්ටේෂන් එකත්, මැනිං මාර්කට් එකත් තියෙන තැන ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙනවා. ඒ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයට අධිවේගී ශීඝ්‍රගාමී බස්රථ ඇතුළු විය හැකි ක්‍රමයක් අපි හදනවා. ඒ සඳහා වෙනම පාරක් හදනවා. එහි පළමුවැනි පියවර ලෙස මගී ප්‍රවාහන වාහන සඳහා ප්‍රමුඛතා මංතීරු අපි ආරම්භ කර තිබෙනවා.
එහි ඊළඟ පියවර ලෙස ශීඝ්‍රගාමී බස් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එයට අමතරව ඉදිරි වසර පහ තුළදී දුම්රිය ද්විත්ව මාර්ග පද්ධතියක් බවට පත් කර විදුලිකරණය කිරීම සිදු කරනු ලබනවා. සැහැල්ලු ගුවන් දුම්රිය පද්ධතියක් කොළඹ නගරයේ ඇස්වාට්ටුව හරහා ඇතිකිරීමට කටයුතු කරනවා. මෙහි මූලික කටයුතු මාලබේ සහ කොල්ලුපිටියෙන් ආරම්භ කරන අතර දැනට දුම්රිය පද්ධතිය හෝ බස්රථවලට අසු නොවන සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය පද්ධති මාර්ග7ක් අපි ඇති කරනවා. එයින් දෙකක් හදන්නේ ජපාන රජය මගින්. එහි වැඩ මේ වන විට ඒ අය විසින් කරගෙන යනු ලබනවා. ඒ සඳහා වන ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අපි සිදුකරනවා" යයි පැවසීය.