2025 දී තට්ටු 60 ක ගොඩනැගිලි වරාය නගරයේ ඉදිවෙන බවත්. එම 60 වෙනි තට්ටුවට ගොස් කොළඹ කොපමණ ගිලා බැහැලද?, කොපමණ උඩට නැගලද කියා නරඹන්නට විවෘත අභියෝගයක් කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(06දා) මහරගම සංවර්ධන සැලසුම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඒ වගේම මේ වැරදි ප්රවෘත්ති පතුරුවාගෙන යනවා කොළඹ නගරය ගිලා බහින්න යනවා කියලා වරාය නගරය නිසා. ඇත්තටම ජනමාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. එවැනි සිදුවීම් තිබෙනවා නම් එය වර්තා කර ඉදිරිපත් කිරීමේ වරදක් නැහැ. කොළඹ වරාය නගරය හදන්නේ ගොඩ ඉංජිනේරුවෝ නෙමෙයි. ඒ වගේම තුට්ටු දෙකේ ප්රවෘත්ති පළකර තමන්ගේ පත්තර විකුණාගන්න හදන අයත් නෙමෙයි. කොළඹ වරාය නගරය හදන්නේ අන්තර්ජාතික මට්ටමේ විශේෂඥ ඉංජිනේරුවෝ. අපි දන්නවා එතන ඇතිවීමට නියමිත ගැටලු.
මම බොහොම වගකීමෙන් කියනවා මෙම රජය පත්වීමත් සමග විධිමත් පාරිසරික අධ්‍යයන වාර්තාවක් ලබාගැනීමත්, එහි බොහොම පැහැදිලිව ජල තලයේ ඇතිවන වෙනස්වීම් ආදියත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒවාට අපි පැහැදිලි විසඳුම් ලබාදී තිබෙනවා. ඉදිරියේදීත් එම තත්වයන් අපි පැහැදිලිව මැන ගනිමින් එම කටයුතු සිදු කරනවා. එමනිසා කොළඹ ගිලාබහින්න යනවයි කියන අයට දෙන්න තිබෙන උත්තරේ 2025 දී තට්ටු 60ක ගොඩනැගිලි එම ස්ථානයේ ඉදි වෙනවා. එම 60 වෙනි තට්ටුවට ගිහින් බලමු කොළඹ කොච්චර ගිලා බැහැලද?, කොච්චර උඩට නැගලද කියලා. මම ඒ ගොල්ලන්නට එය විවෘත අභියෝගයක් විදිහට කියනවා. එදාට මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ගැන අසත්‍ය, සත්‍ය තොරතුරු පළකළ සියලු දෙනාගේම ඒ තොරතුරු ප්‍රදර්ශනය කරන්න” යනුවෙන් පැවසීය.