ආසියාවේ ඉපැරණිම ජනාවාසය ලෙස සැලකෙන ඓතිහාසික පාහියන්ගල ලෙනපිහිටි ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වීම නිසා පාහියන්හල විහාරස්ථානයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලා 25 නමක් වෙනත් ආරක්ෂිත ස්ථානයකට වැඩම කළ බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
පසුගිය දින කිහිපයේම බුලත්සිංහල ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වූ අතර, ඊයේ දහවල් වනවිට බුලත්සිංහලට මිලිමීටර් 104.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත්, ඉදිරියටත් මෙම වැසි තත්ත්වය වර්ධනය වීමට ඉඩ ඇති බැවින් බුලත්සිංහල ප්‍රදේශයට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළ බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවසීය.
පසුගිය මැයි මාසයේ පාහියන්ගල ප්‍රදේශයේ ඇතිවූ නායයෑම නිසා පාහියන්ගල ඓතිහාසික ලෙන පිහිටි ප්‍රදේශය පුපුරා ඉරිතැලීම්වලට භාජනය වී තිබුණු අතර,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එහි පිළිසකර කිරීම් ආරම්භ කර තිබිණි.
වසර 58,000කට වඩා පැරණියැයි සැලකෙන නූතන මානව අස්ථි කොටස් හමුවී ඇති ප්රාග් ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් සේම ආසියාවේ විශාලතම ලෙන් විහාරයද වන මෙම පුදබිමට හානියක් වී, එය විනාශ වී ගියහොත් මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම සාක්ෂි රැසක් විනාශ වී යාමට ඉඩ ඇති බවත්,එසේම බුලත්සිංහල, පාහියන්ගල අවට විශාල ප්‍රදේශයකට අහිතකර තත්ත්වයක් ඇති විය හැකි බවත් විහාරවාසී පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
මතුගම - බන්දු තඹවිට