ගෝලීය වයින් නිෂ්පාදනයේ පෙර නොවූවිරූ පහළ යෑමක් පෙන්නුම් කරන බව මිදි හා මුද්‍රිකපාන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එම සංවිධානයේ පුරෝකථනයන්ට අනුව 2016 වසරේදී ගෝලීය වයින් නිෂ්පාදනය 5% කින් පහළ යනු ඇති අතර, එය ගෝලීය වයින් නිෂ්පාදනය ඇරඹි ශතවර්ෂාධික කාලය සැලකිල්ලට ගැනීමේදී අතිශය දුර්වලම නිෂ්පාදන වර්ෂයක් බවට පත්වනු ඇත.
මෙම තත්ත්වයට මූලිකවම හේතු වී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වී තිබෙන අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
එම සංවිධානයේ ප්‍රධානී ජීන්-මේරි අවුරැන්ඩ් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමග අතිශය බැරෑරුම් දේශගුණික විපර්යාස තත්ත්ව අප ඉතා සුලභව හා ඉතා විශාල ලෙස අත්විඳින බවයි. මේ හේතුවෙන් වයින් නිෂ්පාදනයට ප්‍රබල දායකත්වයක් ලබාදෙන චිලිය හා ආජර්ටිනාව වැනි දකුණු ඇමෙරිකානු රටවල නිෂ්පාදන පහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දෙයි.
පසුගිය කාලයේ බලපෑ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇති වූ ධාරාණිපාත වර්ෂාවන් නිසා රතු වයින් නිෂ්පාදනයට යොදාගන්නා කැබරෙන්ට් සෝවිග්නන් සහ මැල්බෙක් වැනි මිදි වගාවන්ට දැඩි හානි වූ බව එම සංවිධානය පවසයි.
මේ ආකාරයෙන්ම වයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන දකුණු අප්‍රිකාව මෙන්ම ප්රංශයද මෙම දරුණු කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩා විඳි අතර, තවමත් ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව හා ස්පාඤ්ඤය සිය නිෂ්පාදන වැඩි කරමින් යම්තාක් දුරකට වයින් නිෂ්පාදනය පවත්වාගෙන යන බවද එම සංවිධානය වැඩිදුරටත් පවසා සිටියි.