වයඹ පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අශෝක වඩිගමංගාව මහතා අද (06දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වන බව පැවසීය.
මේ අනුව වඩිගමංගාව මහතා මේ වනවිට වයඹ පළාත් සභාවේදී අවස්ථා තුනකදීම දේශපාලන පක්ෂ මාරුකර තිබෙන අතර, එවැනි පක්ෂ මාරුවක් වයඹ පළාත් සභාව තුළ සිදුකළ එකම දේශපාලඥයා ලෙසද ඔහු වාර්තාවක් තබා ඇත.
එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඉඩම් සංවර්ධන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වඩිගමංගාව මහතා පසුව පාර්ලිමේන්තුවෙන් ඉවත්වී වයඹ පළාත් සභාවට තරගකර පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙස කලක් කටයුතු කළේය.
ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවූ ඔහු පස්වැනි වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඉන් පසුව 2014 වසරේ පැවැති වයඹ පළාත් සභා මැතිවරණයෙන් නැවත පළාත් සභාවට තේරීපත්වූ වඩිගමංගාව මහතා පසුගිය මහ මැතිවරණය ආසන්නව තිබියදී නැවත එක්සත් ජාතික පක්ෂයට එක්විය.