නිරාහාරව පාසල් පැමිණි සිසුවියකපාසලේ වමනය කිරීම, ඇය ගැබ්ගැනීමකට ලක්වීමක් යැයි අනුමාන කළ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසලක විදුහල්පතිනියක් දදාළ සිසුවියගේ දෙමවුපියන් කැඳවා ඇය පාසලෙන් ඉවත් කිරීමේ පුවතක් වාර්තා වේ.
විදුහල්පතිනිය විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමෙන් පසු අදාළ සිසුවියගේ දෙමවුපියන් පාසලට ගෙන්වා ඇය ගැබ්ගෙන ඇති බවත්, පාසලේ තබාගත නොහැකි බවත් පවසා පාසල් හැරයෑමේ ලේඛනය ලබාදී ඇය පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඉතා අසරණව ජීවත්වන දෙමවුපියන් දෙදෙනා අසල්වැසියෙකුගෙන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දැරිය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර, ඇය ගැබ්ගැනීමකට හෝ කිසිදු අපයෝජනයකට ලක්ව නොමැති බව එහිදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ අදාළ පාසලෙහි විදුහලිපතිනියගෙන් විමසීමක් කළ අතර, ඇය පවසා සිටියේ , අදාළ සිසුවියගේ ක්‍රියාකලාපය අයහපත් බවට ලැබුණු තොරතුරු මත පාසලෙන් ඉවත් කළ බවත්, ඇය සම්බන්ධයෙන් පූර්ව වැරදි ගණනාවක් තිබූ අතර, ඒවාද පදනම් කරගෙන අදාළ තීරණය ගත් බවත්ය.
එසේම එම සිසුවියව නැවත පාසලට නොගන්නා බවද විදුහල්පතිනිය පැවසුවාය.