ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද(15දා) වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ පෙනී සිටීමට ගොස් තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුවන වධහිංසාවල අඩුවක් දක්නට නොමැති බව පෙන්වා දෙමින් මෙරට මානව හිමිකම් සංවිධාන ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුවට ඒ පිළිබඳ වාර්තා කිරීමටද සුදානම් වෙයි.
එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුව සඳහා සහභාගි වීමට නියමිත රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක මහතා පැවසුවේ,වධහිංසා යනු අපරාධ ගණයට වැටෙන බරපතළ වරදක් ලෙස පිළිගෙන ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා නීති පනවා තිබුණත් එම නීති නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන බවය. රට තුළ සිදුවන වධහිංසා පිළිබඳ සිවිල් සංවිධාන විසින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුවට යොමුකිරීමට නියමිත අතර, එහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙතද ලබාදී ඇති බව හෙතෙමපවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුව වසර හතරකට වරක් ජිනීවා නුවරදී රැස් වෙන අතර, ශ්‍රී ලංකාව එම කමිටුවේ සාමාජික රටක් ලෙස රට තුළ වධහිංසා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ පසුගිය සැසි වාරයේ ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවේ. එමෙන්ම මෙරට මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන සිවිල් සංවිධානද එම වාර්තාවට සාපේක්ෂව වාර්තාවක් සකස්කර ඇති අතර, එය පසුගියදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී තිබේ.
එමෙන්ම වර්තමාන පාලනය යටතේ රජයේ අත්අඩංගුවේ පසුවූ රැඳවියන්ට කළවධහිංසා පිළිබඳ පැමිණිලි හයසියයකට අධික ප්‍රමාණයක් ඇති බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එක්සත් ජාතීන්ට ලබාදුන් වාර්තාවේ සඳහන් කර තිබේ.
කෙසේවෙතත් වධහිංසා අවම කිරීමට වත්මන් රජය පොරොන්දු ලබාදී ඇති බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු යැයිද සිවිල් සංවිධාන ප්‍රකාශකරයි.