වතුකම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් ඇතිකරගත් සාමූහික ගිවිසුමේ මුදල පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා වතුකම්කරු සම්මේලනය සඳහන් කරයි.
දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙසට ඉල්ලා වතුකම්කරුවන් දිගින් දිගටම අරගල කළ නමුත් වතු හාම්පුතුන් හා දේශපාලනඥයන් විසින් කම්කරුවන් පාගා දමා රුපියල් 730ක දෛනික වැටුපකට ගිවිසුම්ගතවී තිබෙන බවද එම සංගමයේ සභාපති ඒ ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
ගිවිසුම අත්සන් කිරීම නිසා අකමැත්තෙන් හෝ එම මුදල භාරගැනීමට කම්කරුවන්ට සිදුවී තිබෙන බවත්, වතු සාමූහික ගිවිසුම ක්‍රියාත්මක විය යුත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට බැවින් රුපියල් 730ක මුදල පදනම්කරගෙන හිඟවැටුප් ලබාදිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය. එසේ නොමැති වුවහොත් කම්කරු අයිතිවාසිකම් රැකගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා පවසා සිටියේය.
2013 වසරේ අත්සන් කළ වතු සාමූහික ගිවිසුමේ කාලය පසුගිය වසරේ මාර්තු 31 වන දිනෙන් අවසන් වූ අතර, ඉන්පසුව සාමූහික ගිවිසුමක් අත්සන් නොකළ බවද සභාපතිවරයා සඳහන් කළේය. පවතින ක්‍රම‘වේදයන්ට අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේදී යළිත් සාමූහික ගිවිසුමක් අත්සන් කළයුතු බවද හෙතෙම සඳහන් කළේය.