අගමැතිනිය ලෙස වඩා යහපත් වූ බ්‍රිතාන්‍යයක් ගොඩනැගීමටත්, කන්සර්වේටිව් පක්ෂ නායකයා ලෙස ශක්තිමත් නායකත්වයක් ලබාදීමටත් ක්‍රියාකරන බව බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරය සඳහා සුදුසුකම් ලබා සිටින තෙරේසා මේ පවසා සිටියාය.
කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා වූ ඡන්ද විමසීමේදී ඇය සමග තරගයට සිටි ඇන්ඩ්‍රියා ලීඩ්සන් ඉන් ඉවත්වීමත් සමග නිතරගයෙන්ම පක්ෂ නායකත්වය සඳහා තේරීපත් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් පවත්වමින් තෙරේසා මෙම අදහස් පළ කළාය.
කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් තමා පිදුම් ලැබීම ගෞරවයක් බවත්, එය නිහතමානීව පිළිගන්නා බවත් පවසා සිටි තේරේසා මේ, බදාදා සවස මහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ බ්‍රිතාන්‍ය වත්මන් අගමැති ඩේවිඩ් කැමරන්ද එදින සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින්, නව අගමැතිනියට මාවත සකස් කරන බව මීට පෙර ඩවුනින් වීදියේ, අංක 10 අගමැති නිවස ඉදිරිපිට පැවති මධ්‍ය හමුවකදී පැවසීමත් සමගනි.
අගමැති ධුරය දක්වා වූ තමාගේ දේශපාලන ව්‍යාපාරය මූලික කාරණා තුනක් මත පදනම්ව පැවති බවත්, ඉන් පළමු වැන්න ඕනෑම ආකාරයක දේශපාලන හෝ ආර්ථික දුෂ්කරතාවකදී ශක්තිමත්ව නැගී සිටීම හා ප්රත්යක්ෂ නායකත්වයක් සැපයීම බව තෙරේසා මේ එහිදී අවධාරණය කළාය.
එමෙන්ම, බ්‍රෙක්සිට් යනු බ්‍රෙක්සිට් බවත්, එය සාර්ථකත්වයක් වෙත ගෙනයෑමට සියල්ලන්ම සූදානම් බවත් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියාය.