රාජගිරිය සිය නිවසේ විදුලි මනුව වෙනස් කර නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබාගත් බවට ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 13 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා අද (16දා) නියම කළේය.
විදුලිබල මණ්ඩලය විසින් පවරා ඇති මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහේස්ත්රාත්වරයා, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ටද සිතාසි නිකුත් කළේය.
විදුලි මනුව වෙනස් කර සිය නිවසට නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබාගත් බවට විදුලිබල මණ්ඩලය විසින් ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
තායිවාන් බැංකුවක වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එම බැංකුවෙන් සිය බැංකු ගිණුමට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙන්වා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.