මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවට ලිපියක් ලියා තබා දිවි නසාගත් බව කියන යුදහමුදා බුද්ධි අංශයේ රාජකාරි කළ විශ්‍රාමික නිලධාරියා ඔහුගේ ලිපියේ සඳහන් ආකාරයට සත්‍ය ලෙසම ලසන්ත මහතා ඝාතනය කළ තැනැත්තාද යන්න පිළිබඳව හෙළිකර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ ප්‍රකාශය හා ඔහුගේ මරණයත් සමගම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වර්තමානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණ කටයුතුද කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවද 'අද'ට වාර්තා වේ.
එසේ සිදුව ඇත්තේ මෙතෙක් අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් උදුලාගම නමැති බුද්ධි අංශ නිලධාරිෙයකු දැනට දිගු කාලයක සිට අත්අඩංගුවට පත්ව සිටීම නිසාය.
එමෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයන් දෙදෙනෙකුගේ රූප සටහන් දෙකක්ද මීට පෙර පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යයට ඉදිරිපත් කර තිබිණි. එහෙත් ඔවුන්ගෙන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමටද නොහැකිවී තිබිණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිත කළ බවට සැක කරන දුරකථන සිම් කාඩ් හතරක් පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන පරීක්ෂණ පවත්වන බවට ප්‍රකාශ විණි. ඉන් එක් දුරකථන සම්බන්ධතාවක් මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීමට අදාළ බවටද තොරතුරු වාර්තා වී තිබිණි.
මේ අනුව ජයමාන්න බුද්ධි නිලධාරියාගේ මරණයත් සමගම ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය පිළිබඳව අලුතින් සොයාබැලීමට සිදුවන බවටද පරීක්ෂණ පවත්වන මැදිහත් නිලධාරීහු පෙන්වා දෙති.
ඉලන්දරගේ එදිරිසිංහ ජයමාන්න (52) නමැති විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා පසුගිය 14 වැනි දින පෙරවරුවේදී මාධ්‍ය‘වේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව සඳහන් කරමින් ලිපියක් ලියා තබා නිවසේ දී සිය දිවි නසාගෙන සිටියදී සොයා ගැනුණි.
මෙහිදී යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයා ලියන ලද බව කියන ලිපිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
අදාළ ලිපියෙහි දැනට අත්අඩංගුවේ පසුවන උදුලාගම මහතාගේ නම සඳහන් කර තිබූ කොටසෙහි ඔහුගේ නමෙහි කොටසක වෙනසක් පිළිබඳව ද ප්‍රශ්නයක් මතුවී තිබිණි.
එම ලිපියේ සඳහන් අත්අකුරු තම පියාගේ බවට මියගිය විශ්‍රාමික හමුදා නිලධාරියාගේ පුත්‍රයා මරණ පරීක්ෂණයේ දී හඳුනා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.
මරණයට පත්ව සිටින ඉලන්දරගේ එදිරිසිංහ ජයමාන්න (52) නමැති විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා පසුගිය යුද්ධය පැවති කාලයේදී කොටි ත්රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක යුද හමුදා බුද්ධි අංශ කටයුතු වලදී ජීවිතය පරදුවට තබා කටයුතු කළ බුද්ධි නිලධාරියෙක් බවට යුද හමුදාව තුළ ප්රසංශාවක් හිමිව තිබූ නිලධාරියෙක්ද වේ. එමෙන්ම ඔහු අතුරුගිරිය මිලේනියම් සිටි බුද්ධි මෙහෙයුමට අදාලව සිටි බුද්ධි අංශ සාමාජිකයෙකුද වේ. මෙම ලැයිස්තුවේ සිටි බුද්ධි නිලධාරීන් බොහෝ දෙනෙකු පසුව කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ අතර මිය ගිය බුද්ධි නිලධාරී ජයමාන්න ඒ අතරින් තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ නිලධාරීන් කිපදෙනා ගෙන් අයෙකුද වේ.
කෙසේ වෙතත් මරණයට පත්ව සිටින ජයමාන්න නමැති බුද්ධි නිලධාරියා ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන උදුලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා සමග දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් පසුවූ අයෙක් බවද ඔහු පිළිබඳව සඳහන් කරන හමුදා සාමාජිකයෝ සඳහන් කරති.