විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ චෝදනාවන්ට වරදකරුවන් කොට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට සිර දඬුවම් නියම කරමින් දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද (07දා) අධිකරණයට දැනුම් දුන්නේය.
විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඬුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.
අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.
තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ සඳහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.