ලන්ඩනයේ ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් පාලම අසල ස්ථාන දෙකකට එකවර එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් එයට සම්බන්ධ ත්රස්තවාදීන් තිදෙනාත් සමග මේ වනවිට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.
ලන්ඩනය අවට විවිධ රෝහල්වලට ඇතුළත් කළ මෙම පිරිස අතර බරපතළ තත්ත්වයේ පසුවන කිහිපදෙනෙකුම සිටින බව පොලිස් සහ රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
සෙනසුරාදා රාත්‍රී දහයට පමණ ජනාකීර්ණ ලන්ඩන් පාලම දුම්රිය ස්ථානය සහ කාර්යබහුල බොරෝ වෙළෙඳ සංකීර්ණය යන ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ ස්ථාන දෙකම පිහිටියේ ඕවල් ක්‍රීඩාංගණයට ඉතා නුදුරේයි.
මෙදින ශුරයන්ගේ කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවැති ප්‍රථම තරගය පැවැතියේ ඕවල් ක්‍රීඩා පිටියේයි. තරගය අවසන් වී රාත්‍රී හතහමාරත් පසු වී තිබූ අතර, ක්‍රීඩා පිටියෙන් මා පැමිණෙන විටත් රාත්‍රී අටහමාර පසු වී තිබිණි.
ඒ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් රාශියක් කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා පිටිය සහ ඒ අවට ප්‍රදේශවල ගීත ගයමින්, නටමින් විනෝද වෙනු දුටිමි. ඕවල් ක්‍රීඩා පිටියත් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ මෙම ස්ථානයත් අතර දුර ප්‍රමාණය කිලෝමීටර දෙකක් පමණ වන අතර, වාසනාවකට කිසිම ශ්‍රී ලාංකිකයෙකුට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදු වූ බවක් සඳහන් වන්නේ නෑ.
එංගලන්තයට මේ වනවිට ග්‍රීෂ්ම සෘතුව උදා වී ඇති බැවින් රාත්‍රී වනතෙක්ම හිරු ආලෝකය පවතිනවා. එහෙයින් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩා පිටියේ සිට ඇවිදගෙන ගියද මෙම ස්ථානයට ළඟා වීමට ගතවන්නේ විනාඩි විස්සක් වැනි සුළු කාලයක්. එහෙයින් බොහෝ දුරට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ද මේ ප්‍රහාරයට ගොදුරු වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණා.
ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ ස්ථාන දෙකටම මේ වනවිටත් දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර එම ප්‍රදේශවලට ජනතාව ඇතුළු වීම අවහිර කර තිබෙනවා. සුදු වෑන් රථයකින් පැමිණි ත්රස්තයන් මහමග ගමන්ගත් ජනතාව යට කරමින් වාහනය පදවා තිබෙනවා.
මීට අමතරව ත්රස්තවාදීන් විසින් අඟල් දහයක් පමණ දිගු පිහියක් වැනි තියුණු ආයුධයකින් කාන්තාවකගේ බෙල්ල කැපීමක්, තරුණියකගේ පපුව ප්‍රදේශයට ඇනීමක් සහ ආයුධයෙන් කැපීම්, ඇනීම් වැනි දරුණු තුවාල සිදු කර තිබෙනවා. තවද මේ අතරතුර වෙඩි තැබීම් ශබ්දයන් ඇසුණු බව ඒ අවට සිටි ජනතාව පොලීසියට පැවසුවා.
කෙසේ වෙතත් සිද්ධිය සිදු වී විනාඩි අටක් වැනි කාලයක් ඇතුළත එම ස්ථානයට වාර්තා කළ ලන්ඩනයේ ත්‍රස්ත මර්දන පොලීසිය සිද්ධි දෙකටම සම්බන්ධ ත්රස්තවාදීන් තිදෙනාටම වෙඩි තබා ඝාතනය කළා.
මෙයට සම්බන්ධ තවත් පිරිස සිද්ධිය වූ ස්ථානයෙන් පලාගියේද, මේ පිටුපස සිටින්නේ කවුරුන්ද, සැලසුම් කළේ කුමන සංවිධානයෙන්ද යන තොරතුරු කිසිවක් නිශ්චිතවම සඳහන් නොකළද මෙය අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක සාමාජිකයක්ගේ ක්‍රියාවක් බවට තොරතුරු වාර්තා වෙනවා. තවද මේ සටහන තබන මොහොත වනවිටත් මියගිය ත්රස්තවාදීන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන නැහැ.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට