ලක්ෂ ගණන් වටිනා ඖෂධ වුවද රෝහල් තුළින් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත්, රුපියල් 20කවත් වටිනාකමක් නැති සේලයින් බට, සිරින්ජර, අත්වැසුම් හා මුඛවාඩම් හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
සේලයින් බට නොමැතිවීම නිසා නේවාසික රෝගීන්ට සේලයින් ලබාදීමේදී හෙද නිලධාරීන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත්, මේ නිසා සේලයින් බට ගෙනවිත් දෙන ලෙසරෝගියාගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් කිරීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
එහෙත් මේ වනවිට පෞද්ගලික වෙළෙඳ සැල්වල පවා සේලයින් බට හිඟයක් ඇති වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
සාමාන්‍ය‘යෙන් දිනකට සේලයින් බට ලක්ෂ දෙකක් අවශ්‍ය බවත්, මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය හොඳාකාරවම දන්නා බවත් කී ඒ මහතා එම ගණනය කිරීම් අනුව නිසි ලෙස තොග ලබාදීමට හා තොග මිලදී ගැනීමට කටයුතු නොකිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද සඳහන් කළේය.
මීට අමතරව සමහර සිරින්ජ වර්ගවලද දැඩි හිඟයක් ඇති වී තිබෙන බවත්, නිලධාරීන්ගේ හා රෝගියාගේ ආරක්ෂාව සඳහා භාවිත කරන අත් වැසුම් හා නිලධාරීන් භාවිත කරන මුඛවාඩම් හිඟයක්ද ඇති වී තිබෙන බවත් ගාමිණී කුමාරසිංහ මහතා කියා සිටියේය.