ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න විසඳීම සඳහා නව රජය ගෙන ඇති පියවර පළිබඳව ඇමෙරිකාවේ ප්‍රසාදයට හේතු වී තිබෙන අතරම ශ්‍රී ලංකා අධිකරණයේ හා වගවීමේ ක්‍රියාවලියේ ඇතිව තිබෙන නිරාකරණය කිරීම සඳහා වන දේශීය පරීක්ෂණයක් සඳහා පූර්ණ සහාය දැක්වීමටද ඇමෙරිකාව ඉදිරිපත්ව සිටියි.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය ඉන්දියාවේ පී.ටී.අයි. පුවත්සේවයට අදහස් දක්වමින් ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කර තිබේ.
පසුගිය රජයේ අවුරුදු නවය හා ඉන් එහාටත් පැවැති ආණ්ඩු මානව හිමිකම් ගැටලු ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග වලට වඩා වැඩි පියවර ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව මාස 9කින් ගෙන තිබෙන බවද බිස්වාල් මහත්මිය පවසා තිබේ.
එසේම ජාත්‍යන්තරයේ ඇතුළත්වීමක් සහිත දේශීය පරීක්ෂණයක් හරහා ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරික්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉතාමත් හොඳ චේතනාවක් තිබෙන බවත් ඇය පවැසුවාය.
ඇය මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වූවාය.
“සමාජය අතර විශ්වාශය ඇති කිරීම සඳහා මෙන්ම සෑම දෙනාම ඇතුළත්ව රට ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් රජය බොහෝ දේවල් කර තිබෙනවා* යැයි ඇය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තිස් වසරක් පැවැති යුද්ධයේදී ඇති වූ තුවාල සුව කිරීම සඳහා තවත් බොහෝ දෑ කිරීමට තිබෙන බවත් ඇය පවසා තිබේ.
"සාමය හා සෞභාග්‍යය තහවුරු කර ගැනීම ශ්‍රී ලංකා ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ සඳහා අවශ්‍ය සහාය දැක්වීමට ඇමෙරිකාව සූදානම්" යැයි ඇය සඳහන් කරයි.
පී.ටී.අයි. ඇසුරෙනි