විදුලි ගාස්තු 5%කින් ඉහළ දැමීමට අවසරය දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියද විදුලි බිල වැඩිකිරීමට අවසරය නොදෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලංවිම විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියද ඒ පිළිබඳව අවසන් තීරණය ගන්නේ අමාත්‍යාංශය බැවින් මිල වැඩිකිරීමට අවසරය නොදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය
ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන ආයතනය මහජන උපයෝගීතා කොමිසමයි. එම කොමිසම සමග මාස 06කට වතාවක් ඉදිරි මාස 06කට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණ්ඩලය මුහුණදෙන මූල්‍යමය තත්ත්වය හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවාදැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක්‍රියාවලියකි.
2016 ඔක්තෝබර් 01 දා පටන්ගෙන 2017 මාර්තු 31 දා අවසන්වන මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදී විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම ඉහළ යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරගැනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසඳුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇත.
ඒත් මේ සම්බන්ධයෙන් අවසාන ප්‍රතිපත්තිමය තීරණය ගතයුතුව ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙනි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙතින් අදහස් විමසා ඇති අතර එහිදී කිසිසේත්ම විදුලිබිල ඉහළ දැමීමට බලාපොරොත්තු නොවන බව අමාත්‍යාංශය විසින් දන්වා ඇත.