ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ බළඇණිය සඳහා කුඩා බස්රථ 250ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ එන්ජින් කට්ටල 500ක් ආනයනය කර බස්රථ සඳහා යෙදවීමටත්,අබලන් බස්රථ 1000ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමටත් සැලසුම් කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
ගංවතුරින් හා නායයෑම්වලින් ආපදාවට ලක් වූලංගම සේවකයන් 279 දෙනෙකු සඳහා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා ඊයේ (14දා) පෙරවරුවේ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ පැවැති උත්සව අවස්ථාවකදී හෙතෙම මේ බව කීවේය.
ලංකා ගමනාගමන මණ්ඩලය බාරගත් පසු මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයකට වාසිවන අයුරින් කටයුතු නොකළ බවත්, කිසිදු දේශපාලන පක්ෂයකට නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන බවත් පැවසූ ඇමතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් වැඩබාරගැනීමෙන් පසු මේ දක්වා ලංගමයට කිසිදු සේවකයෙකු බඳවා නොගත් බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
ලංගම සේවකයන්ට අර්ථසාධක අරමුදල් නොගෙවීමේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කළ බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා මහතා කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවා ඇති නඩු සිය ගණනක් වෙනුවෙන් රුපියල් මිලියන 386ක් ගෙවීමටද හැකි වූ බවත්, මේ වසර අවසන්වීමට පෙර ඉතිරි මුදල්ද ගෙවා අවසන් කරන බවත් සඳහන් කළේය.
ලංගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවත්,ඒ යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා 3452 දෙනෙකු ඉදිරිපත්වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.