එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර පරීක්ෂණයට ඉන්දියාවේ සහාය හිමි නොවන බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු වන්නේ ශ්‍රී ලංකාව බවත් මෙරට ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහා පවසා තිබේ.
හෙතෙම පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉන්දීය රජය විරුද්ධ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදීය.
එහිදී, සැබෑ සංහිඳියාවක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, දෙමළ ජනතාව සමග බලය බෙදාගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ විය යුතු බවද පවසා ඇති ඔහු, එවැනි ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාව දිරිගැන්වීමට ඉන්දියාව සැමවිටම කටයුතු කරන බවද පෙන්වා දී තිබේ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැපවන බව ශ්‍රී ලංකා රජය පවසා ඇති බව පෙන්වා දී ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් ඇතුළු සියලු පුරවැසියන් සමානාත්මතාවයෙන් හා ආත්මාභිමානයෙන් යුතුව ජීවත්වනු දැකීම සිය බලාපොරොත්තුව බවද වාර්තාකරුවන් අමතමින් පවසා තිබේ.
අර්ථාන්විත බලය බෙදාහැරීමක් පිළිබඳව ශ්‍රී ලංකාවේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේද සඳහන් වන බව පවසා ඇති මහ කොමසාරිස්වරයා, එවැනි ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනයද කළමනාකරණය කර ගත හැකි බව පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට ඉන්දියාව සහාය නොදීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන්ගෙන් එල්ලවන චෝදනා පිළිබඳ විමසීමේදී හෙතෙම පෙන්වාදී ඇත්තේ, ඔවුන් ඉන්දියාවේ ස්ථාවරය තේරුම් ගනු ඇති බවයි.
13 වැනි සංශෝධනයට අයත් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබානොදෙන බවට රජය ස්ථිරව පවසා තිබෙන බැවින් එය මුළුමනින්ම ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරන්නේද යනුවෙන් නැඟුණු පැනයකට පිළිතුරු දෙමින් මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ එම සංශෝධනය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේම කොටසක් බවයි.
දේශපාලන විසඳුමක් සොයාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමඟ ඉතා ඉක්මනින්ම සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම පිණිස සියලු පාර්ශ්ව එක් විය යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහා සඳහන් කර තිබේ.
ඉන්දු-ලංකා ධීවර ප්රශ්නය පිළිබඳව අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ගත් තීරණයට ශ්‍රී ලංකාවේ රජයට තම ස්තුතිය පුද කරන බවත්, හොඳ හිත සහ දේශපාලන අවශ්‍යතා මත ධීවර ප්රශ්නය ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පවසා තිබෙන බව බී.බී.සී.ය පවසයි.