බංග්ලාදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළේදී ඔවුන්ට වීසා ලබාගැනිමට (on-arrival visas) තිබූ අවස්ථාව ශ්‍රී ලංකාව විසින් අත්හිටුවා අතැයිද ඒ අනුව බංග්ලදේශයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට බංග්ලාදේශය ලබා දි තිබූ එම පහසුකම බංග්ලාදේශය විසින්ද අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම ශ්‍රී ලංකාව විසින් මෙවැනි පියවරක් ගැනීමට හේතුව බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මියගෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විමසා ඇති අතරම ශ්‍රී ලංකාව විසින් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව බංග්ලාදේශයේ නොසතුටද ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැයක පමණ කාලයක් මෙම සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු කවරේද යන්න විමසා ඇති බවත් ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් මහ කොමසාරිස්වරිය පවසා ඇතැයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කරයි. එසේම ශ්‍රී ලංකාව එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තොරතුරු විමසා බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරන බවත් යසෝජා මහත්මිය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරය පවසා ඇත්තේ, " මේ ගැන පිළිතුරක් හොයන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මෙවැනි දෙයක් පිළිබඳව මාව දැනුවත් කර නෑ. බංග්ලාදේශ ජාතිකයන් ශ්‍රී ලංකාව සෑම විටම ආදරයෙන් පිළිගන්නවා. බංග්ලාදේශ ජාතිකයක් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන අපි අගය කරනවා. මොකද මිනිසුන් හා මිනිසුන් අතර ඇතිවන සබඳතා විටිනාකමකින් යුතු සබඳතා ඇති කරන්න උදව් කරනවා." යනුවෙනි.
ශ්‍රී ලංකාව විසින් හදිසියේ ගත් මෙම තීරණය පිළිබඳව බංග්ලාදේශය පුදුම වන බවත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ මිතුරෙකු බවත් කිසිඳු විසඳාගත නොහැකි ගැටලුවක් රටවල් දෙකට නොමැති බවත් බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
"මොන හේතුවක් තිබුණත් කිසිම රටකට එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න බෑ අනෙක් රට දැනුවත් නොකර" යැයිද ඔහු පවසයි. එසේම ඩකා නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන් සිදුකරන මිහින් ලංකා ගුවන් සේවයෙන් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තොරතුරු විමසීමටත් බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් වෙයි.
ගල්ෆ් ටයම්ස් ඇසුරෙනි