පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වය දැරූ කාල වකවානුව තුළදී කාරක සභාව හමුවේ ඉදිරිපත් වූ කිසිදු තොරතුරක් නීතිවිරෝධී ලෙසින් කුමන පාර්ශ්වයකට හෝ ලබානොදුන් බව අවධාරණය කරන බව අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ඒ මහත්මිය තවදුරටත් පවසන්නේ බැඳුම්කර කොමිසම ඉදිරියේ පුද්ගලයෙකු සිය පුතුගේ නම සඳහන් කර තිබුණද, ඒ සඳහන සනාථ කෙරෙන කිසිදු අදහසක් එහිදී ඉදිරිපත් වී නොතිබූ බවයි. එසේ සඳහන් කර ඇත්තේ 2016 වසරේ සිදු වූ සංවාදයක් බවත්, 2016 වසරේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවූ බවත් ඇය එම නිවේදනය මගින් කියා සිටියි.
එහි මෙසේද දැක්වේ.
'එසේ වී තිබියදී සමහර ජනමාධ්‍ය කිසිදු සොයා බැලීමකින් හෝ පදනමකින් තොරව, බැඳුම්කර සිද්ධියට මා සහ මගේ පුත්‍රයා සම්බන්ධ බවට සඳහන් කරමින් ප්‍රධාන සිරස්තල යොදාගැනීමෙන් පිළිබිඹු වන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්රය අද ඇද වැටී ඇති පහත් තත්ත්වයයි.
මේ සම්බන්ධයෙන් මට හා මාගේ පුත්‍රයාට එල්ල වන චෝදනා සියල්ලම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආරම්භයේ පටන් සුපිරිසුදු දේශපාලනයක නිරත වූ මා හට මෙලෙස අපහාස කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.
පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි විගස මේ පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් සිදු කිරීමට ද කටයුතු කරමි.'