තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලට අවශ්‍ය අමතර කොටස් සඳහා බදු මුදල් නොගෙවා සිටීමට බව පවසමින් රුපියල් කෝටි 12 ½ අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගන්නා ලද රේගු අධිකාරිවරයෙකු, නියෝජ්‍ය රේගු අධිකාරිවරයෙකු සහ සහකාර රේගු අධිකාරිවරයෙකු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
මෙම අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු තවම අවසන් කර නොමැති බවත්, කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා විශේෂ ආරක්ෂාව මධ්‍ය‘යේ කුරුවිට බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රේගු අධිකාරි සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරි ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරි එම්.ඩී. උපාලි ගුණරත්න යන සැකකරුවෝය.
මැනිං ටවුන් නිවාස සංකීර්ණයේ පදිංචි ජී. බන්ධුසේන මහතා කළ පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ස්ටීල් ඉන්පෙක්ෂන් ආයතනයෙන් තීරු බදු රහිතව වාහන අමතර කොටස් ලංකාවට ආනයනය කරන බවත්, එහි දේශීය නියෝජිතයා ලෙස ස්ටීල් ඉන්ස්පෙක්ෂන් ඉන්ඩර්ස්ට්රීස් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරන බවත්, අල්ලස් කොමිසම විසින් අධිකරණය දැනුම් දී ඇත.
තීරු බදු රහිතව අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වනු ලැබූ විමර්ශනයක් සඳහා පැමිණිලිකරු අවස්ථා ගණනාවකදී එහි පෙනී සිට ඇති අතර, ඔහුගේ ප්‍රකාශද ලබාගෙන ඇත. පසුව ඉන්දියානු සමාගම විසින් ගෙන්වූ භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 300 කට අධික වන හෙයින් බදු වශයෙන් රුපියල් කෝටි 30 ක් ගෙවිය යුතුය බව පවසා ඇතැයි වාර්තා කර තිබිණි.
මේ තත්ත්වය නිසා රුපියල් කෝටි 15 ක් වත් ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර, පසුව එය කෝටි 12 ½ ක් දක්වා අඩුකරගෙන ඇති බවත්, එම මුදල පංචිකාවත්ත ප්‍රදේශයේදී ලබාදෙන විට අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්යකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ, මෙම අල්ලස් මුදල් තම සේවාදායකයන්ට බලයෙන් ලබාදී ඇති බවයි.
මේ අතර, අල්ලස් ලබාගැනීමේදී රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශ්‍රී ලංකා රේගුවට තවමත් ලිඛිතව දන්වා නොමැති බවත්, ලිඛිතව දැන්වූ පසු රේගු නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙම නිලධාරීන් තිදෙනා අල්ලස් ලබාගැනීමට උත්සාහ කළේ කුමන කාරණයකටද යන්න සොයා බලා අදාළ සමාගමට එරෙහිව යම් කටයුත්තක් සිදුකිරීමට තිබෙනවානම් එය එලෙසම සිදුකරන බවද පවසා සිටියේය.
අල්ලස් ලබාදීමත්, අල්ලස් ලබාගැනීමත් වරදක් වුවත් අල්ලස් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට කිසිවක් සිදුකළ නොහැකි බවද, අල්ලස් ලබාගත් පිරිස් මීට පෙර අල්ලස් ලබාගෙන තිබේද යන්න සොයා ගැනීමට දූෂ්කර බවද හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටිනවාද යන්න සොයා බැලීමට අල්ලස් කොමිසම විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.