හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 79 වැනි ජන්ම දින නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය දේශපාලන හේතුන් නිසා රණතුංග සහෝදරයෝ බෙදී වෙන්වී සැමරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
එළඹෙන 22 වැනිදා උඩුගම්පලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිත බැවින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරුන් එයට සහභාගි නොවී වෙන වෙනම පිංකම් සංවිධානය කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බැවින් මෙම උත්සවයට සහභාගි නොවීමට ඇමතිවරයා තීරණය කර ඇති බවත්, වෙනම දානමය පිංකමක් සංවිධානය කර ඇති බවත්ය.
තමාගේ පියාගේ නම විකුණාගෙන කෑම සඳහා පවත්වන දේශපාලන සංදර්ශන සඳහා තමන් සහභාගි නොවන බවත්, වෙනම පිංකමක් පවත්වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා මෙහිදී පවසා සිටියේය.
උඩුගම්පලදී පැවැත්වීමට නියමිත උත්සවය සංවිධානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පවුලේ සියලු දෙනාට මෙම සැමරුම් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත්‍ර යවා තිබෙන බවයි.
උඩුගම්පල රෙජී රණතුංග අනුස්මරණ රැස්වීම් ශාලාව විවෘත කිරීම මෙහිදී සිදුවන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රධාන ගුණ සමරු දේශනය පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර සෑම වර්ෂයකදීම පැවැත්වූ සැමරුම් උත්සව සඳහා පවුලේ සාමාජිකයන් සියලු දෙනා එක්වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.