රුපියල් කෝටියක් වටිනා මැණිකක් නීතිවිරෝධීව විදේශ රටකට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අද (06දා) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු 33 හැවිරිදි වියෙහි පසුවන කොළඹ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ඉතියාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 267 දරන ගුවන් යානයෙන් අඩුඩාබි වෙත යෑමට ගුවන්තොටුපළට පැමිණ තිබිණි.
බරින් කැරට් 05ක් වන ඉතා දුර්ලභ ගණයේ රතු (රූබි) මැණික් වර්ගයට අයත් වන මෙය ඉතා කුඩා මැණිකක් බව ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි.
මෙවැනි කුඩා මැණිකක් පුද්ගලයෙකුට පහසුවෙන් සඟවා ගෙන යාහැකි බවත්, ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ගේ දක්ෂතාව හේතුවෙන් පිටත්ව යෑමේ පර්යන්තයේදී සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගත් බවත් හෙතෙම පැවසීය.
සැකකරුගේ අත්බෑගය පරීක්ෂා කිරීමේදී එහි කුඩා පොකට්ටුවක් තුළ තිබියදී වටිනා රූබි රතු මැණික සොයාගත් බවත්, මෙය මෑත කාලයේදී සිදුකළ සුවිශේෂී මෙහෙයුමක් වන බවද රේගුව පවසයි.
නීති විරෝධීව මෙරටින් මැනික් ගෙනයාමට උත්සහ කිරීමේ වරදට සැකකරුට රුපියල් ලක්ෂයක් දඩ නියම කල රේගුව විසින් වටිනා රතුකැටය රාජසන්තක කටයුතු කලබව රේගුව පවසයි.
කටුනායක - ප්‍රසාද් මුතුකුඩ/ ටී.කේ.ජී කපිල